Friday, August 30, 2013

බ්ලොග් දෙවියන් වෙත...........


ඇයි දෙයියනේ මෙහෙම කොරන්නෙ!
බ්ලොග් රෝලෙ නොකියවපු බ්ලොග් ගොඩගැහිල, බාගෙට ලියපු පෝස්ට් සම්පූර්න කරන්නත් විදිහක් නෑ...........

මට ආපහු බ්ලොග් ලියන්න බැරි වෙයි ද?

Friday, August 2, 2013

හදවතේ කැඩපත


O/L 

පට්ට කාලෙ, ෆන් කාලෙ, පිස්සු කෙලින කාලෙ, ඉගෙන ගන්න කාලෙ, ජොලි කරන කාලෙ,
හරි නේද?

ඔව්, කාටවත් ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ....

ඇත්තටම මේ කාලෙ කියන්නෙ, ඉස්කොලෙ කාලෙ කරපු නැති ඒ කියන්නෙ, විදපු නැති අද්දැකීම් විදගන්න හදන කාලයක්.

පොත් වලට ඔරවපු එවුන් පොත් දිහා බලන්නෙත් මේකාලෙ, පිට්ටනිය ඇලජික් එවුන් පිට්ටනියට බහින්නෙත් මේ කාලෙ, වලි වලට බය එවුන් චන්ඩි වෙන්නෙත් මේ කාලෙ,

ඒ වගේම පාසල් ප්‍රේමය නොවිදපු ගොඩක් අය ප්‍රේමවන්තයො වෙන්නෙත් මේ කාලෙ.



ඒ අතින් බලනකොට ,සුදු පාට ‍රැලි ගවුමක් ලගින් යනකොට, ඇග හිරිවැටිල යන තරමට O/L ප්‍රේමණියයි..


මේ ආදරේද , කැමැත්තද , ආකර්ෂණයද , ඒව කවුරුත් හිතුවෙ නෑ,

කොහොමහරි, කොල්ලො කෙල්ලො සෙට් කරගන්න වෙහෙසුනා, ක‍ටු කෑව, ගුටි කෑව,චාටර් උනා, ඒත් පසුබැස්සෙ නෑ....

ඒ අස්සෙ කොල්ලො සෙට් කරගන්න කෙල්ලො සීතල යුද්දෙක!




අනේ ඉතින් කොහොඹ ගස් වටේ කරවිල වැල් එතෙන හැටි, කොට්ටොරුවො හොට පටලගන්න හැටි,
කුරුළු කිරිලියො ටිචර්ල සර්ලට හොරෙන් තැන තැන පෙම් බස් දොඩ දොඩ ඉන්න හැටි දකින අපේ ගල් හදවත් ආදරෙන් මොලොක් වුනා...

අපි කොච්චර හොදද , සිලි වත්ද,කොච්චර අහිංසකද,

ඒත් , හැමෝටම ගෑනු ළමයි ඉදිද්දි අපි කොහොමද දෙයියනේ මේ කෲර ලෝකෙ තනියම ඉන්නෙ.....!

මොලොක් වෙච්ච හදවත් පසාරු කරන්න ගොඩක් ලේසියි ...

හී පහරක් මටත් වැදුන, නොදැනීම.....


හංසි,                

හංසි මගේ පන්තියේ හිටපු කෙල්ලෙක්, මගේ යාළුවෙක්,

ලස්සන හොද ගෑනු ළමයෙක්, මට වඩා ටිකක් උසින් අඩු, එයාට තිබුනෙ කතාකරන ඇස් දෙකක්

මම එයාට කැමතියි.. ඔව්,ගොඩක්..  එයත් මට කැමැත්ත දුන්න..

අපි ආදරේ කරනවද?

ඒ ගැන අපි දෙන්නම හරියට දැනන් හිටියෙ නෑ, ඒත් අපි දෙන්නට දෙන්න කැමැත්තෙන් හිටියෙ ගොඩක්, ....



අපේ සම්බන්දෙ ගැන කවුරුවත් දැනගන්නවට අපි කැමති වුනේ නෑ.. අඩුමගානෙ යාළුවොවත්..

ඒකට ලොකු හේතුවක් තිබුන...

මං ගැන තොරතුරු, මම ගෙදර යන්න ඉස්සල්ල ගෙදරට හම්බෙනව .... ගෙදරට ආරංචි වෙනව කියන්නෙ ඉතින් ලෙඩක්නෙ..

හංසිගෙ ගෙදරට ආරංචි වුනොත් ඉතින් අපි දෙන්නටම වෙන්නෙ මැරුම් කන්න...

ඒ නිසා අපි යාළුවන්ටත්, අපි ගැන නොකිය ඉන්න තීරනයකරා...

ඒ වුනත් අපි දෙන්න හිතුවටත් වඩා ආදරය නිර්භීතයි...!

හැංගි හැංගි කතාකරපු අපිදෙන්න නොදැනිම එලියට ආව..

අපේ යාළුවො අපි දෙන්නව තේරුම් ගත්ත..

ඒඅයත් හරියට නොදන්නව වගේ ඇගෙව්ව... ඒත් ගොඩක් උදව්කරා..
ක්ලාස් එකේ,ලයිබ්‍රි එක ලග ,කෝච්චි ස්ටේශන් එකේ කොනේම තියන කොලපාට බංකු පේලි වල ඉදගෙන අපි ගොඩක් දේවල් කතාකරා..
ඇත්තටම අපි කතානොකරපු දෙයන් නැතිතරම්..ඒ දේවල් කොච්චර බොලඳ වුනත් හරිම සුන්දරයි!

අපි කතාකරන දිහා බලාගෙන, අපි ලගින්යන අයියල අක්කල සමහර වෙලාවට විහිලු කරනකොට , ඇත්තටම අපි බය වෙන්න ඕන උනත්, අපිට දැනුනෙ අමුතු සතුටක්...





මමත් රෝගි උනා..කෑම අරුචිය, නින්ද නොයාම, තනියෙන් කිසිම හේතුවක් නොමැතිව සිනාසීම, මනෝ පාරවල් ගැසීම ඕව තමයි රෝග ලක්ෂණ
මේ රෝගෙ නිසා මම ටික ටික කෙට්‍ටු වෙන්න ගත්තත්,

මේ රෝග ලක්ෂණ තිබුන හංසි එන්න එන්න මහත් වෙනව!

හැම කෙල්ලෙක්ටම මෙහෙම වෙනවද?


හතරවෙනි පීරියඩ් එකේ තියෙන්නෙ ඉංග්‍රීසි

මෙක ඉතින් අපි ආසම පීරියඩ් එකනෙ..මොකට කියනවද

ඇයි ටිචර් අපිට උගන්නන්න මෙච්චර වදවෙන්නෙ?   වෙලාවකට ටිචර් ගැන දුකත් හිතෙනව..

"ගුඩ් මෝර්නින්ග් චිල්ඩ්‍රන්......"

"ගුඩ් මෝර්නින්ග් ටිචර්.............."

ටීචර් ගෙ බොදවෙන රූපෙත් එක්ක මගෙ ලගට ආවෙ හංසි

හංසියි මායි ගොඩක් තැන්වල ඇවිද්ද, වැව රවුමෙ,පාර්ක් එකේ, නිලාවැලි බීච් එකේ.... හංසිගෙ අතින් අල්ලගෙන මේ හැම තැනම ඇවිදිනකොට මට දැනුනෙ මේලෝකෙ සතුටින්ම ඉන්න කොල්ල මන් කියල,මේක තමා ජීවිතේ කියන්නෙ....ඔව් මේක තමා

හංසි, ලස්සන හංසි,   මගේ ලගල එනව

"සිතූ....ම්.. සිතූ.....ම්     සිතුම්..."

එහා පු‍ටුවෙ හිටපු කට්ටගෙ වැලමිටි පාරින් , මගේ සිහින මාලිගය කුඩු වෙලාගියා

"මොකද ය.."

"සිතුම්"

ඒ ඉංග්‍රීසි ටිචර්

"ඇ...ඇයි ටීචර්.."

"මොකද තනියම හිනාවෙන්නෙ..?"

උත්තර සියගානක් ඔලුවට ආවත් එකක්වත් කටින් පිට නොවුනෙ ඇයි කියල මටවත් හිතාගන්න බැරි උනා.ටිච්ර් මගේ දිහාබලන් කල්පනා කරනවා,

"සිතුම්පුතා ඔයා දන්නවද හදවතේ කැඩපත කියන්නෙ මොකටද කියල?"

"මූන තමයි හදවතේ කැඩපත කියන්නෙ

පුතාගෙ හදවතට මේදවස් වල මොනවහරි වෙලාතියෙනව කියල මට පුතාගෙ මූන බැලුවහම කියන්න පුලුවන්

මේකාලෙ ඕව කරල ජිවිතේ නාස්තිකරගන්න එපා පුතා.. ඕව කරන්න හොද කාලයක් එනව එතකන් ඉවසන්න..
මේ දවස්වල විභහගෙ හොදට පාස් කරගන්න එක ගැන විතරක් හිතන්න"

පීරියඩ් එක ඉවරවෙන බෙල් එක වැදුනට පස්සෙ ටීච්ර් පන්තියෙන් එලියට යනකන්ම මම හිටියෙ සිහියෙන් නෙමෙයි

ටීච්ර් කිව්වෙ මොකක්ද, කොල්ලො කෙල්ලො මට මොනව කියාවිද, මට මොකක්ද දෙයියනේ මේ උනේ.

හැමෝම මග ඇරල ක්ලාස් එකේ දොරේ උලුඅස්සට මම හේත්තු උනේ මේ දේවල් හිත හිත

ලැජ්ජවෙන් රතු උන මූන බිමට හරවගෙන හංසි මගේ ලගට ආව

"මොනවද අනේ උයා කරන්නෙ, හැමෝම මගේ දිහා බැලුව.."

ලැජ්ජාවෙන් මූන රතුවෙලා තිබුනත් ඒ මූන සතුටෙන් පිරිල

 ඇයි ඔයාට ඔච්චර සතු‍ටු හංසි

 මට එහෙම හිතුනත් ඊලග මොහොතෙදි මට තව දෙයක් තේරුනා

ඔව්, ටීචර් කිව්වහරි, හදවතේ තියනදේ මූනෙන් කියවන්න පුලුවන්, හංසිගෙ හදවත ආදරෙන් කියනදේ ඒ ලස්සන මූනෙන් මට පෙනුන

"ඔයා මට ගොඩක් ආදරෙයි නේද සිතුම් , මාත් ඔයා ආදරෙයි පැටියො, ගොඩාක්...."

Thursday, July 11, 2013

කොටි කොටි කොටි




1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද....

අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව්
ඇයි අපි මුලින්ම ඉස්කෝලෙ යන්නෙ මේ වයසෙදිනෙ, ඉතින් මාත් ඔන්න ඉස්කෝලෙ යන්න පටන් ගත්ත...

                        ක/ක‍ටුකුරුන්ද ධර්මපාල මහා විද්‍යාලය

මේ මගේ පලවෙනි ඉස්කෝලෙ.,

ඇතුලත් කල දිනය - 1996.01.12                                      අස්වූ දිනය -1996.03.07

මගේ ශිෂ්‍යයන්ගේ කර්ය්‍ය දර්ශනයේ තියෙන්නෙ එහෙම.

නාගොඩ සුදු සීයත් එක්ක පුට්සයිකලේ ධර්මපාලෙ එක වසරට මට යන්න හම්බවුනේ මාස දෙකකටත් අඩු කාලයක්.....



මගේ අප්පච්චි රජයෙ සේවකයෙක්, අම්මත් එහෙමයි, අප්පච්චිට දුෂ්කර සේවයට යන්න උනේ මේ අවුරුද්දෙ.

ඉතින් මාසයක් විතර අම්මවයි, අක්කවයි, මාවයි කළුතර දාල අප්පච්චි ගියේ,අපිට එහෙ ඉන්න ගෙයක් හොයන්නලු, අපිට එහෙදි අළුත් ඉස්කෝලෙකට යන්න හම්බෙනවලු, අප්පච්චි කොහෙද ගියේ කියල අහන වෙලාවට අම්ම මට කිව්වෙ එහෙම.

කොහොමහරි ඇගිලි ගැන ගැන හිටපු ඒ දවස ආව...

පොඩි බඩු ලොරියක අපේ ගෙදර තිබුන බඩුපටවගෙන අපි අපේ අළුත් ජීවිතේ පටන්ගන්න පිටත් වුනා.


බඩු ලොරියෙ ඉස්සරහින් අප්පච්චිත් එක්ක ගිය මට අපේ අළුත් ගමේ හැම දේම ගොඩක් අළුත්....

තල් කොලවලින් වට කරපු පුංචි ගෙවල්, පාර පුරා  බෑ.... බෑ....  කිය කියා...  දුවන එළු රංචු , මොල්ලිය ලොකු විසාල කින්නියා හරක්.., තැන තැන වැවිල තියන තල් ගස්...  මේ මම කවදාවත් දැකපු නැති දේවල්..


මෙහෙ මිනිස්සුත් වෙනස්, ගොඩක් පිරිමි අය හිටියෙ සුදු පාට පොඩි තොප්පියක් දාගෙන, ගෑනු අය ඔලුවෙ ඉදන් සාරියකින් වහගෙන.. ඒත් ඒ හැම දෙනාම අපිදිහා හිනාවෙලා බැලුවෙ අපිව පිලිගන්න වගේ.

කැඩිච්ච තාරපාරක් දිගේ අන්තිමේදි අපි  මුහුද ගාවතිබුන අපේ නැවතුමට ආව.නැගෙනහිර පලාතෙ අළුත්  ආරම්භයක්,

 මේ....
                                 කින්නියාව


කින්නියවෙ බහුතරයක් ඉන්නෙ මුස්ලිම් අය දෙමළ, සිංහල අය නැතුවමත් නෙමෙයි, කොහොම වුනත් පොඩිමට මේ අයගෙ වෙනස තේරුනේ කතාකරන භාෂාවෙන් විතරයි.



අපි මුලින්ම හිටියෙ තොරෙයිඅඩි වල,මුහුදට කිට්‍ටුවෙන් තිබුන ලෑලිවලින් වහන දොරක් තිබුන පොඩි කඩ කාමරයක, මේ කිට්‍ටුවෙන් තිබුනෙ මහතුන් මුදලාලිගෙ කඩේ..
මේ පුංචි ගෙදර අපි හිටියෙගොඩක් සතුටින්.

අප්පච්චියි අම්මයි වැඩ කරේ කින්නියාවෙ නෙමෙයි. සින්න කින්නියාවල ඒ කියන්නෙ පොඩි කින්නියාවෙ, මුහුදෙන් එහා පැත්තෙ ගොඩබිමේ...

දැන් තොරෙයිඅඩි ඉදන් දිග පාලමක් සින්න කින්නියා වලට තිබුනත් ඒ කාලෙ අපිට තිබුනෙ වෙන ක්‍රමයක්, ඇත්තටම අපූරු ක්‍රමයක්, මේකත් පාලමක් හැබැයි වෙනස්
මේක තමා.....
  
පාලම් පාරුව

දැකල තියනවද පාලම් පාරුව, ගිහින් තියෙනවද මුහුද මැදින් පාලම් පාරුවෙන්?, ඒක ජීවිතේ විදින්න ඕන හොද අද්දැකීමක්.

පාලම් පාරුව කියන්නෙ නැවක්..!


අපෝ නෑ , ඒත් ඒකාලෙ කවුරුහරි මගෙන් ඇහුවොත් මම කිව්වෙ එහෙම, පුංචි මට ඇත්තටම ඒක ගොඩක් විසාලයි..

තනිකර යකඩ වලින් හදල තියන පාලම් පාරුවට උස් පහත් කරන්න පුලුවන් යකඩ පාලම් දෙකක් තියෙනව්වා... තව එන්ජින් දෙකකුත් තියෙනව ,


එන්ජින් දෙකක් තියෙන්නෙ මුහුද මැදදි එකක් කැඩුනොත් අනික පාවිච්චි කරන්නලු.
ම්.... එතකොට දෙකම කැඩුනොත්....!

 ඔය තියෙන්නෙ භාන්ඩෙ පහලින්


ගමනට පැය බාගයක් යනව. ඉතින් පාරුව මගහැරුනොත් පැය බාගයක් වෙරලෙ. හදිසිනම් බෝට්‍ටුවෙන් යන්න පුලුවන්, ඒකට ඉතින් සල්ලි ඕනෙ.

වාහන, මිනිස්සු පුරවගෙන පාලම් පාරුව ගොඩට එනකම් මිනිස්සු ඉන්නෙ නොයිවසිල්ලෙන්. දඩස් ගාල පාරුවෙ යකඩ පාලම ගොඩබිමේ වදිනකොට මුලින්ම බහින්නෙ මිනිස්සු, ඊට පස්සෙ පුට් සයිකල්,බයික්,ඊට පස්සෙ ලොකු වාහන.

එතකොට නගිනකොට, නගිනකොට මුලින්ම නගින්නෙ ඉතින් මම..

පොඩි ළමයි මුලින්ම නගිනව ඒ යන්න හදීසියට නෙමෙයි. මුහුද හොදට බලන්න පුලුවන් හොද තැනක් අල්ල ගන්න.

"පුතා, දූ අනේ! පරිස්සමින් බලාගෙන වැටෙයි..!"

"අපි වැටෙන්නෑ.. අම්මෙ"

ඒදන්ඩක් දිගේ එනව වගේ බයෙන් බයෙන් පාරුවට නගින අම්මට අපේ අක්ක කියන්නෙ එහෙම.

පැය බාගෙ ගමන අක්කටයි මට යි කවදාවත් දැනුනෙ නෑ. මොකද බලන්න ගොඩක් දේවල් තියෙනවනෙ.

මොනවද මුහුදෙ මැද ඔච්චර බලන්න  තියෙන්නෙ නේද,

ඇයි දෙයියනේ මාලු.....



ලොකු මාලු රංචු, පොඩි මාලු රංචු පාලම් පාරුව යටින්යන්නෙ අපිට  පෙන්නද කොහෙද,
මෙ අතරෙ... විෂේශ සත්තුත් ඉන්නව,

සුදු පාට ඒත් විනිවිද පේන ඇගක් තියෙන බෝලයක් වගේ සතෙක්

"අප්පච්චි අර මොකාද?"

"ඒ පුතා ජෙලි පිශ් උන් ලස්සනයි තමයි ඒත් ගෑවුනොත් කසනව, ඔය කඩි කඩි කිය කිය මිනිස්සු එන්නෙ උන් ගෑවුනහම"


ඒ මම ජෙලි පිශ් දැකපු මුල්ම දවස, හරි අපූරු සතෙක්

එදා ඉදන් පාරුව යටින් යන මාළු රංචු අතරෙ මායි අක්කයි ජෙලි පිශ්ලව හෙව්වෙ තරගෙට වගේ.


මේ නම් අපූරු පලාතක්...

ඒ වගේම මරු මරු කෑමත් පිරිල, කෑම කියන්නෙ ඉතින් පොඩිකාලෙ ඉදලම මගේ ප්‍රධාන මාතෘකාවනෙ....

උනු උනු ‍තෝසෙ ලාතැඹිලි පාටට හුරු පොඩි දිය ගතියක් තිබුන සම්බෝලත් එක්ක, ම්....එතකොට කවදාවත්ම එපා නොවෙන මස් රොටි... මට්ටි.., කකුළුවො.., අළුත්ම අළුත් මාළු...

අම්මේ... මතක් වෙනකොට කටේ තියන කෙල ඔක්කොම බඩට යනව!

 මම කොච්චර පොඩි උනත් ඒ රස මට තාම මතකයි.

මෙච්චර කල් ලංකාවෙ ඇවිදපු කිසිම තැනකින් මම එච්චර රස කෑම කාල නෑ.



                                  ...ත්‍රි/නාලන්දා මහා විද්‍යාලය...


මේ අක්කගෙයි මගෙයි අළුත් ඉස්කෝලෙ.

අපි දෙන්න ඉස්කෝලෙ ගියේ අප්පච්චි එක්ක , ඒකාලෙ තිබුන මේට් බයික් එකේ, මම ඉස්සරහ, අක්ක පිටිපස්සෙ.

යන අතරමගදිත් බලන්න දෙවල් ගොඩායි.

බඹර හව්ස්,  බඹර ගෙදර

ඒ දවස්වල බඹර හව්ස් කෑම්ප් එකට යන පාර අයිනෙ ඇදල තියෙන්නෙ මී මැස්සෙක් කියල මම හිතුවෙ.. අනේ ඉතින් මම පොඩියිනෙ..

තව මුවොත් මෙහෙ ඉන්නව, පාරට ටිකක් එහායින් කැලේ මායිමෙන් හිටපු ගමන් මුවෝ මතු වෙනව,තිත් වැටිච්ච පොඩි මුව පැටව් අපේ දිහාබලන් ඉන්නෙ, උන්ටත් ඉස්කෝලෙ යන්න ආස හිතිලද කොහෙද.

ඊට පස්සෙ හම්බවෙන්නෙ මම බලන්න ගොඩක් ආස ප්ලේන් එක.



මේ චීන වරායෙ ,නැත්නම් චයින බේ එයාෆෝස් කෑම්ප් එක ඉස්සරහ තියන ප්ලේන් එක. ඒක ස්මාරකයක්ලු ඒත් ඇත්ත එකක් මම හිතන්නෙ.

 කොහොම උනත් සමහර දවස් වස්ලට කෑම්ප් එකට ගොඩබාන ප්ලේන් අපි දකිනව.

මුහුද පේන හරියට ආවහම ඈතට සුදු පාටට පේන්නෙ  ලොකු බිල්ඩින් එකක්, ඒක තම ප්‍රීම එක. දන්නවනෙ ඒක පිටි ෆැක්ටරියක්, සමහර දවස් වලට ඒක වටේ නැව්ත් නවත්තල තියෙනව.



නාලන්දෙ මගෙ දෙවනි ඉස්කෝලෙ......

මේ ඉස්කෝලෙ ගැන මගේ අස්වීම් සහතිකේ තියෙන්නෙ මෙහෙම,

ඇතුලත් කල දිනය -1996.03.12                                                            අස්වූ දිනය -1997.06.11

අන්තිමට සිටි පන්තියේ ඉගෙනගත් කරුනු - දෙවන වසරට නියමිත විශයන් සිංහලෙන්....

අවුරුද්දයි මාස තුනයි, අපහු මාරුවීමක්, ඒත් අපි මෙච්චර ලස්සන මෙච්චර හොද පැත්තක් දාල ඉක්මනටම යන්නෙ ඇයි?


මේ ලස්සන පලාතෙ , සුන්දර මිනිස්සු අතරෙ හිටපු අමනුෂ්‍ය සත්තුන්ගෙ හෙවනැල්ල අපිටත් වැ‍ටුන, ඒ අමනුෂ්‍යයො මරණ භය අපේ ජීවිත වලට ගෙනාව......

        කොටි කොටි කොටි ඒ, අමනුෂ්‍ය දෙපා කොටි!



සටහන - අවුරුදු හයේ මතකය අම්මයි අප්පච්චිගෙයි උදව් ඇතිව අවුස්සද්දි මට තේරුනා මට සිතුම් සයුරෙ ඒ හැම දෙයක්ම ලියන්න බැරි වෙයි කියල.. මොකද කතාව ගොඩක් දිගයි.
දිගකතාවක් කියවන්න ඔයාල කැමති වෙයි කියල මම හිතන්නෑ,

කොහොම උනත් මගේ මුල් සටහනේ , 
අපි ඉගෙනගත්ත නදිරා අක්කගෙ පුංචි පන්තිය, 
පුල්ලෙයාර් දානෙ කාපු කෝවිල,      
අපිව මුහුදෙ මැද තියන ලස්සන පුංචි දූපත් වලට එක්කරගෙන ගිය අතක් නැති මුස්ලිම් මාමගෙ කතාව,      
මට පිං කැටේ කියපු නදිර අක්කගෙ අයිය ගැන,     
අපිට හැම දාම අළුත් මාලු එවපු, ඉස්සර ලොරි හතක් තිබුන සමීර මුදලාලි ගැන,   
කොහු මෝල ගැන , 
ටිකට් සීය ගැන, 
මහතුන් මුදලාලි ගැන මේවගේ තව ගොඩක් දේවල් ගැන අතුරු කතා පිරිල තියෙනව

 ඒහැමෝම ගොඩක් හොද මිනිස්සු..

ඒ නිසා ඒ මිනිස්සු ගැන මට තාම  මතකයි!

ඊලග ලිපියෙන් අපි යුද්දෙට පලමුවෙනි වතාවට කො‍ටු උන හැටි ගැන  කියන්නම් 

Friday, July 5, 2013

කුමාරයා මං


" සිතූම්... කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල, ගිහිල්ල බලල ඉක්මනට එන්න "

පන්තියට ආපු නංගිල දෙන්නෙක් කියපු පනිවිඩය රේනුකා ටිචර් මට කියුවෙ එහෙම.

ලියලියා හිටිය නෝට් පොත පැත්තකින් තියල නැගිටින ගමන් මම හිතුවෙ කුමුදු ටීච්ර් මට මේ වෙලාවෙ මොකට එන්න කියනවද කියල.

මේ මම නමයෙ පන්තියෙ ඉන්න කාලෙ.

නමය පන්තිය තිබුනෙ, ඉස්කෝලෙ තිබුන තට්‍ටු දෙකේ බිල්ඩින් දෙකෙන් එකක. දැන්නම් බිල්ඩින් තුනක් තියනව එත් ඉස්සර තිබුනෙ දෙකයි.

මම හිටියෙ කොම්පියුටර් රූම් එක තිබුන බිල්ඩින් එකේ, උඩ තට්‍ටුවෙ කෙලවර තිබුන නවය A පන්තියෙ.

කුමුදු ටිචර්, කුමුදු ටිචර්තමා අපිට ඉංග්‍රීසි උගන්වන්නෙ.

ඉතින් ඉංගිරීසි උගන්වන ටීචර් කෙනෙක් කතාකරනව කියන්නෙ ලෙඩක් තමා...

" ආ... මේ.. එන්නෙ ප්‍රින්ස් "

ඉස්කෝලෙ පිටිපස්සටම වෙන්න තිබුන මේන් හෝල් එක ඇතුලට ආපු මාව පෙන්නල කුමුදු ටීච්ර් කියුවෙ හැමෝටම ඇහෙන්න..

කර කර හිටපු කතාබස් නවත්තපු ඔක්කොම අය, මගේ සපත්තු දෙකේ ඉදන් හිස් මුදුන වෙනකම් බැලුවෙ, අමුතු සතෙක් දිහා බලනව වගේ..

මේ මොකක්ද යකෝ වෙන්න යන්නෙ..! මගේ හිත හිතන කොටම කුමුදු ටීචර් කතා කරා.

"සිතුම් පුතා.. මේ සැරේ ඉංග්ලිශ් කොම්පෙටිශන් වලට අපි ඩ්‍රාම එකක් දානව... අට වසරින් තමා ඔක්කොමල ගන්න හිටියෙ, ඒත් පුතා... ප්‍රින්ස්ගෙ කැ‍රැක්ටර් එකට හොද කෙනෙක් හිටියෙ නෑ, ඔයාට පුළුවන් නේද ඒක කරන්න"

කිසිදෙයක් හිතාගන්න බැරිව හිටිය මට ඇහුනෙ,..ඉංග්ලිශ්, කොම්පෙටිශන්,...,ඩ්‍රාම,...ප්‍රින්ස්.. කියන වචන විතරයි.

"පුළුවන් ටීචර්... මම කරන්නම්.."   මගේ කට මටත් නොදැනිම කිව්ව.

රගපාන්න,උඹ .. මොකක්ද සිතුමො  කර ගත්තෙ.. දැන් ඉතින් ස්ටේජ් එක උඩට නැගල චාටර් වෙයන්

හිත කියුවදේට මට හීන් දාඩිය දාගන ආව...

"පුතා මේ වසන්ති ටීචර්, වසන්ති ටීචර් තමා ඩ්‍රාම එක ප්‍රැක්ටිස් කරවන්නෙ.. හැමදාම හවසට ප්‍රැක්ටිස් තියනව පුතාට එන්න පුළුවන්ද?.."

"පුළුවන් ටීචර් මම එන්නම්..."

කොච්චර පුළුවන් කියුවත් මගේ හිත කියුවෙම පැනල පලයන්..... කියලමයි.

වසන්ති ටීචත් උගන්නන්නෙත් ඉංග්‍රීසි,
හැබැයි අපිට නෙමෙයි, එකොලහ, දොලහ, දහතුන , පන්තිවලට, ඉතින් ඒ නිසා වසන්ති ටිචර්ව අපිට හම්බවුනේ බොහොම කලාතුරකින්.

ලොකු රවුම් මූනක් තිබ්බ ටීචර් දාගෙන හිටපු රවුම් කන්නඩි කුට්ටම නිසා මට ටීචර්ව පෙනුනෙ කන්නාඩිකුට්ටමක් දාගෙන හිටිය ලොකු බස්සෙක් වගේ.....


"සිතුම් පුතා.. ඔයා මීට ඉස්සර ඇක්ට් කරල තියනවද?"

වසන්ති ටීච්ර් මගෙන් මුලින්ම ඇහුවෙ එහෙම..

"නෑ ටිචර්"

"කමක් නෑ, නළු පෙනුමක් තියෙනවනෙ, අපි කරල බලමු. කො.. හැමෝම එන්න.... ප්‍රින්ස්ව අදුන ගන්න.."

මෙච්චර වෙලා හොරෙන් වගේ අපි කතාකරන දේවල් අහන් හිටිය කෙල්ලො සෙට් එක ටිචර් ලගට ආව..

"පුතා අපි මේ සැරේ කරන්නෙ ස්ලීපින් ප්‍රින්සස්, අහල තියනවනෙ නිදි කුමාරි කතාව, මේ තමා ඩ්‍රාම එකේ විච්" 
වසන්ති ටීචර් එහෙම කියුවෙ ලග හිටපු කළු නංගි කෙනෙක් පෙන්නන ගමන්

විච්.., කව්ද  යකෝ විච් කියන්නෙ ...

"එතකොට.... මේ කුවින් , මේ කිං "

කොල්ලෙකුත් ඉදලනෙ මේකව දැක්කෙ දැන්

"එතකොට... කෝ ප්‍රින්සස්.. සොනාලි.දූ ...."

"එනව ටීචර්...."




මේන් හොල් එකේ දොරින් ඇතුලට ආවෙ පුංචි ගෑනු ළමයෙක්..ලස්සන පුංචි නංගියෙක්..
මේ මම ඒවෙනකොට දැකපු, කෙට්‍ටුම ගෑනු ළමය,
ඒත් දගකාර දිලිසෙන ඇස් දෙකක් තිබුන සොනාලි නංගි, ඇත්තටම ගොඩාක්.. ලස්සනයි..!

"දූ මේ සිතුම් අයිය තමා ප්‍රින්ස්ට ඇක්ට් කරන්නෙ.., එතකොට පුතා මේ තමා ප්‍රින්සස්"

මං දිහා චුට්ටක් බලල හිනාවුනු සොනාලි නංගි බිම බලාගත්තෙ ලැජ්ජාවෙන් වගේ

"එතකොට අපිට සෝල්ජර් කෙනෙක් අඩුයි නේද?"

" ගිහාන් එන්නම් කිව්ව ටිචර්" ඒ විච්

" හොදයි.. එහෙනම් ඒ කියන්නෙ සිතුම් විතරයි නවය වසරෙන්..... එහෙනම් ඉතින් නංගිල මල්ලිල එක්ක ඩ්‍රාම එක හොදට කරමු කැමතියි නෙ "

එතකොට මේ නංගිල ගොඩට මම විතරයි නේද අයිය!


  අනේ! මේ වගේ ටීචර්ලට මල් තියන වදින්න ඕනෙ අප්ප...

 මෙච්චර වෙලා අකමැත්තෙන් හිටපු හිත එක පාරම වැඩේට කැමැත්ත දුන්න

ටිචර් දුන්න ඩයලොග්ස් ටිකත් අරගෙන.. මම පන්තියට අවෙ හෙට හවස ඉස්කෝලෙ මොනව වෙයිද කියල හිතන ගමන්..

"Oh.. My Little Daughter... she's very Beautiful"

තොටිල්ලක් කියල හිතාගෙන,කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලෙන් ගත්ත හුනු කොට්ටෙ ක්වීන් ආදරෙන් ඉම්බ..

අහ්..! අපි ප්‍රැක්ටිස් පටන්ගත්තනෙ, මේ පලවෙනි දවස.

ඔන්න ඉතින් රජ ගෙදර දූ ඒ කියන්නෙ මගේ පුංචි කුමාරි ඉපදෙනව..., විච් ට කිව්වෙනැති නිසා විච් නොහොත් මන්තරකාරි තරහ වෙනව, තාත්තට හොරෙන් මාලිගාවෙ ඇවිදින්න යන ලස්සන කුමාරි මන්තරකාරිගෙ උගුලකට අහුවෙලා ඉදි කට්ටක් ඇන ගෙන දොයිය ගන්නව....

දැන් තමා කුමාරයගෙ වාරෙ,ඒ කියන්නෙ මගේ වාරය.

"කෝ ප්‍රින්ස්.., අ සිතුම් පුතා, දැන් ඔයා අස්සය පිටේ එන්න ඕනෙ, සෝල්ජර් ඔයත් අස්සය පිටේ නැගල ප්‍රින්ස් පිටිපස්සෙන් එන්න...ඔයාල යන්නෙ කැලේකට හරිද "

මදැයි කොරා දැන් පලයන්කො අස්සය පිටේ..

ටිකක් වෙලා කල්පනා කරපු අපි දෙන්න දැන් අස්සය පිටේ යනව

" මයි ගෝඩ්....! ගෙම්බෙක් වගේ පැන පැන එන්න එපා පුතා , අස්සයෙක්  උඩ යන්නෙ ගෙම්බෙක් උඩ නෙමෙයි......"

කොල්ලො දෙන්න ගෙම්බො පනිනව දැක්ක ටිචර් කිව්වෙ ඔලුව අත ගහගෙන.

" දූල ඔය කොසු දෙකකක් ගෙන්න... දැන් පුතාල ඔය කොස්ස කකුල් දෙක අස්සෙ හිරකරගෙන, පොඩිකාලෙ අස්සය ගෝන් ගියා වගේ යන්නකො"

අස්සය ගොන් කෙසේ වෙතත් , කටවල් තදකරන් හිනාවෙන නංගිල ටික දැක්කහම මට හිතුනෙ අස්සය පිටේම ගෙදර දුවන්න.

හොද වෙලාවට ප්‍රින්සස්ට ගානක් නෑ,.. චූටි නංගි නිදි,    නංගිට ඇත්තටම නින්ද ගිහින්වත් ද?

කොහොමහරි, කැලේ අස්සෙන් අස්සය පිටේ යන කුමාරයට රජ මාලිගයක් හම්බවෙනව, සෝල්ජර් එක්ක ඇතුලට යන කුමාරය නොහොත් ප්‍රින්ස් සිතුම් දකින්නෙ, උඩු අතට, ගුරු මේසෙ උඩ නිදිය ගෙන ඉන්න පුංචි කුමාරිව....

"හරි පුතා දැන්... හිමිහිට ලගට  ගිහින්, ප්‍රින්සස්ව කිස් කරන්න.."

මම මොකක්...

\

ටීචර් කියපු දේට ප්‍රින්සස් කුමාරිත් උඩ ගිහින් ඇහැරුනා

"නැ නැ.. ඇත්තම කිස් එකක් නෙමෙයි.. හෙමිහිට ලගට ගිහින් ඔලුව පාත් කරන්න...... එතකොට ඔන්න ප්‍රින්සස්  ඇහැරෙන්න ඕනෙ.."

සීතල වෙලා තිබුන අත පය, ටික ටික උනුසුම් වෙනව දැනුනෙ එතකොට..

කට ඇරන් බලන් හිටපු අපේ පුංචි ඕඩියන්ස් එක සුන්වූ බලාපොරොත්තු ඇතුව කට වහ ගත්ත..

ඉතින්, අඩි කිහිපයක පරතරය ඇතිව හාද්දක් දුන්නහම දැන් ප්‍රින්සස් නැගිටිනව....

ප්‍රින්සස් විතරක් නෙමෙයි කිං, කුයින්..ඔක්කොමල නැගිටිනව...

 ඊට පස්සෙ ඉතින් වෙඩින් එක..


ඒක වෙන්නෙ මෙහෙම කිං විවාහ වෙන්න අවසර දුන්නහම.. කුමාරයයි කුමාරියි අත් දෙක අල්ලගන්න ඕනෙ..

අත් දෙක අල්ලගන්න, අපෝ මට බෑ....

ඒ කාලෙදි, ඒ වයසෙදි..කෙල්ලෙක්ගෙ අතින් අල්ලන එක අපිට පෙනුනෙ මහා පාප කර්මයක් වගේ..ඇත්තටම මාර ලැජ්ජයි., අනික මේ ප්‍රසිද්ධියෙ කොහොමද දෙයියනේ ඕව කරන්නෙ..!

ප්‍රින්සස්ටත් ඒකම හිතිලද කොහෙද..අපි දෙන්නම ඇගිලි ටික විතරක් අල්ලල ෂේප් උනා.
ඊට පස්සෙ තිබ්බෙ හැමෝටම ගී ගයා විසිරයන්න..

අම්මෝ..එක දිගට ප්‍රැක්ටිස්....

මේ වෙනකොට මගේ වෙඩින් එක දැන ගත්ත මගේ මිතුරු කැල.. නව යුවල ගැන සැමට ප්‍රසිද්ධ කිරීමේ නියලුනා.

" ආ සිතූම් අපිට හොරෙන් බැන්ද නේද?"

" ආ... සොනාලී...."

 මේ අස්සෙ සමහරු සීරියස් අරන්,

" මචං ඇත්ත කියපන් බං.. ඇත්තටම හවසට උඹල දෙන්න මොනවද කරන්නෙ, උඹල දෙන්න සෙට් නේද?."

මේව ඒ දවස් වල  නිතර ඇහුන දේවල්..

ඉතින් මටත් මොකෝ , කෙල්ලත් හොදයි නෙ!

මේ කියන කතා නිසා දෝ..අමන්ද, සමහර දවස්වල පුංචි කුමාරියි මායි හීන ලෝක වල පුංචි පුංචි නාට්‍යත් රග පෑව..


රංගජීව සර් එනවලු අපේ නාට්‍ය බලන්න.....

රංගජීව සර් කියන්නෙ රාජ්‍ය සම්මාන දිනපු නාට්‍යකාරයෙන්, සර් එන්නෙ අපේ නාට්‍ය බලල අඩුපාඩු හදන්න..

"හෙට එද්දි ඔක්කොමල කොස්ටියුම් අරන් එන්න ඕනෙ.. අපි හෙට කොම්පෙටිශන් එක කියල හිතගෙන මේක කරන්නෙ.. උදෙන්ම එන්න ඕනෙ හැමෝම"

හවස ගෙදර යද්දි ටිචර් කියුවෙ එහෙම.

උදෙන්ම ඇවිත් මිත්තරයන්ගෙ සහයෝගය ඇතිව කුමාර ඇදුම දාගත්ත මම, සෝල්ජ්ර් මල්ලිත් එක්ක මේන් හෝල් එකෙ ඉස්සරහ බංකුවක වාඩි උනේ අස්පයගෙ පොඩි අප්ග්‍රේඩ් එකක් කරන්න..

දහය , එකොලහ පන්ති මේන් හෝල් එක ඇතුලෙ ඩ්‍රාම එක බලන්න .. ඒ අපේ ඕඩියන්ස් එකලු...


"කොහෙද මනුස්සයො ප්‍රින්සස්"
 නාලාගිරි ඇතා වගේ කඩාගෙන බිදගෙන ආපු වසන්ති ටිච්ර් මගෙන් ඇහුව..

"ම .. ම.. මම ගත්තෙ නෑ ටීච්ර්..."

" ගත්තෙ නෑ.."

"නැ.. ම.. මම දන්නෑ ටිචර්"

"සර්රුත් ඇවිත් කොහෙද මනුස්සයො මේ කෙල්ල, ඒකි නැතිව පටන්ගන්නත් බෑනෙ.."

"එයා ගෙදර ඉදන් ලෑස්ති වෙලා එනව කියුව ටිචර්"  අසරණ වෙලා හිටිය මගේ උදව්වට ආවෙ මන්තරකාරි..

මේ වෙලාවෙ පට පට ගාල ආපු සද්දෙ ඇහිල අපි හැමෝම බැලුවෙ ගේට්‍ටුව දිහා..

මගේ කුමාරි එනව... 

සී කුවීන්ස් අල්ලපු, ලස්සන පිම්බුනු ගව්මක් ඇදන්,  සුදු මූන පව්ඩර්වලින් තවත් සුදු කරන්,  සුදු මේස් දෙකක් අත් දෙකට දාල, ලස්සන පුංචි ඊයම් පාට ඔ‍ටුන්නක් ඔලුවෙ දාගෙන..තාත්තගෙ පරණ රතු පාට තැපැල් නයින්ටියෙ ලැගේජ් එකේ ඉදගෙන.., මගේ කුමාරි එනව

කොහොමද පැටියො ටව්න් එක මැද්දෙන් ඔහොම ආවෙ..

 මට ඇඩෙන්න වගේ..

මෙච්චර වෙලා කෝපයෙන් වෙව්ල වෙව්ල හිටිය ටීචර්ගෙ කටත් ඇරිල.

මේ දර්ශනය ඇසිපිය නොහෙලා බලන් හිටිය මාගේ සීලාචාර කටවල් ඇති යහළුවන්ගෙ ඇස් මගේ දිහාට හැරුන නිසා, මං මේන් හෝල් එක ඇතුලට රිංගුවෙ පැත්තකින් හේත්තු කරල තිබුන ලී කඩුවත් අරන්.


ඉක්මනින් පටන් ගත්ත නාට්‍ය දර්ශනය අවසන් උනේ අයියල අක්කල ගෙ අත්පොලොසන් හඩත් එක්ක..

 අපේ වැඩේ හොදයි!

දැන් ඉතින් ගුණ දොස් විචාරය.

හැමෝගෙම ගුණ දොස් නාට්‍යානුසාරයෙන් කියාගෙන ආව රංගජීව සර් අන්තිමට හැරුනෙ කුමාරය දිහාවට, ඒ කියන්නෙ මන් දිහාට.

" මේ බලන්න කුමාරයො ඔයාගෙ රගපෑම හොදයි. ඒත් තව ටිකක් චරිතයට කිදාබහින්න ඕනෙ,
තාත්වික වෙන්න ඕනෙ, ලැජ්ජ වෙලා බෑ....

බලන්න, ඔයාට.. ලස්සන කුමාරියක් දීල තියනව...ඒ කුමාරි ඔයාට බන්දලත් දෙනව.. හ.. කියන්න ඔයා කුමාරිට කැමති නැද්ද? "

"කැ .කැමතියි සර්.."

"එහෙනම් මොකද මනුස්සයෝ ... ඔච්චර ලැජ්ජාවෙන් මේ කෙල්ලගෙ අත අල්ලන්නෙ... අල්ලනවකො හොදට... ඔයවගේ චානස් හම්බෙනවද හැමෝටම.."

සාවදානව අසාසිටි ප්‍රේකෂක යන්ගේ සිනහ හඩ සහ හූ හඩ දසත පැතිරුනේ මගේ හිත සලිත කරමින්
ඒත් ... එකපාරටම මගේ සුපිරි සිතට ආවෙ වෙන දෙයක්,


සර්.. අතින් අල්ලන එකනම් හරි එතකොට..., කිස් එක...

 රතු වෙලා තිබුන පුංචි කුමාරිගෙ සුදුමූන දිහා මට බැලුනෙ ඉබේටම වගේ..

Wednesday, July 3, 2013

KFC මල්ලි




මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර.

මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම, ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්...!

කොහොමින්හරි යුද්දෙ ඉවරවුනාට පස්සෙ අපේ ගමත් ටවුන් එකත් ටික ටික දියුනු වෙනව,
ඉස්කෝලෙ ලොකුවෙනව, පාරවල් කාපට් කරනව, කඩ හැදෙනව කොටින්ම..

දැන් අපිට සුපර් මාකට් එකකුත්තියනව..

ඒත් තවම අපේ ගෙදර ට තියෙන්නෙ එන යන 3G සිග්නල් දෙකයි! ඒකත් මගේ කාමරේ එක කෙලවරකට, මොනව කරන්නද? SLT  අධි වේගී dialup ක්‍රමයෙන් නෙට් ගියපු මට මේ කනු දෙක මාරෙට වටිනව.

කොමින්හරි, ගමේම වැඩිකාලයක් හිටපු කොල්ලෙක් නිසාද කොහෙ ද, රට වටේ ඇවිදින්නයි., එක එක විදිහෙ අමුතු කෑම ජාති කන්නයි මට තිබුනෙ පුදුම ආසාවක්..


රට වටේ යන එක කේසේවෙතත් අනංමනං කෑම ජාති කන එකනම් ගොඩක් වෙලාවට වුනා... පෙරේතය වගේ කනකොට ඉතින් ඒකෙ ආදීනවත් තියනවනෙ.. පෙරේතකම මට්‍ටු වෙන්නෙ බඩේ අමාරුව හැදුනහම..

ඊයෙ කහ පියදාස මාමා ගෙනත් දුන්න පැනි වරකෙට ගොඩාක් පෙම් කරපු නිසාද කොහෙද මගේ බඩ තාමත් රිදෙනව

"ගොඩක් රිදෙනවද පුතේ.... හැමදාම කියනවනෙ කෑමක් හම්බුනහම පෙරේතය වගේ නොකා ටික ටික කන්න කියල ඔය විදිහට කෑවොත් බඩේ අමාරුව හැදෙන්නැතිව තියේද.. ඔහොම ඉන්නකො මම දෙහි ගෙඩියක් මිරිකගෙන එන්නම්"

ඔය වෙලාවට මගේ අම්ම කියන්නෙ ඔහොම.  මගේ චූ....ටි අම්ම...

ඉතින් මේවගේ ආසාවක් තියන එකෙක්ට තනියම සුපිරි නගරයකට යන්න හම්බුනොත් කොහොමද?

O/L ඉවරවෙලා ගියේ දවස් දෙකයි අප්පච්චි මට කතාකරා..

"ඔය කාලෙකකා හිටිය ඇති දැන්..කොහෙහරි ගිහින් මොනවහරි හොද දෙයක් ඉගෙනගන්නව"

ඉතින් හත්තිලව්වෙ, මෙච්චරකල් කොරෙත් ඕකනෙ!

මට දැනුනෙ පුදුම ශෝකයක්..

"කොළඹ British Council එකට යනන ඒකෙ හොදට ඉංග්‍රීසි උගන්වනවලු.. කොළඹ බාප්පත් ඉන්නවනෙ.. බයවෙන්න දෙයක් නෑ... බොරුවට එහෙ මෙහෙ කැරකි කැරකි ඉන්නැතිව කෝස් එක කරන්නෙ කොහමද කියල මේදවස් ටිකේ හොයල බලන්න " 


පට්ට පට පට.. කොළඹ යනව, මම, තනියෙන්, ඕව කලාතුරකින් හම්බ්වෙන චාන්ස්


මුලින්ම British Council එකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඕනෙ, ඊට පස්සෙ ටෙස්ට් එකකට දිනයක් දෙනවලු , ඒක කරාට පස්සෙ තමා කෝස් එක පටන් ගන්නෙ..

ඔය මම හොයාගත්ත විස්තර..

 ඔක්කොටම කලින් කොළඹ යන්න එපැයි

ඉතින්, කොළඹ යන දවසත් ආව...
ගමේ ඉන්න විදිහට කොළඹ යන්න පුලුවන් ද, උදේ දෙකට නැගිට්ට මම ක්‍රීම්, ජෙල්, පව්ඩර් ආධාර කරගෙන යන්තන් නගර ලුක් එකක් ගත්ත, හරියටම හතරට බස් එක.

"අප්පච්චි මාව පාරට ගිහින් දානවද?"

බස් එකේ යනකොට බලන්න ජාති ගොඩයි.. ලොකු ලොකු බිල්ඩින්, අලුත් ජාතියෙ වාහන.. ලංකාවට ආපු සුද්දො, සුද්දියො... ඒ අස්සෙ බස් එකට නැගල සින්දු කියන අය.

කොහොමහරි එකම කැසට් පීස් එක දෙතුන් සැරයක් අහගෙන කොළඹට එනකොට දහයත් පහුවෙලා.

මාව ගන්න කො‍ටුවට ඇවිල්ල හිටිය බාප්පගෙ තුන්සක රියේ නැගල කෙලින්ම ගියේ British Council එකට..




හප්පේ..! ඒක වෙනම ලෝකයක්...

පැය බාගෙන් විතර වැඩේ ඉවරයි. රෙජිස්ටර් වෙන්න විතරනෙ.

බාප්පගෙන් කො‍ටුවට යන හැටි අහගත්ත නිසා මම නැග්ග කො‍ටුව බස් එකකට

ඒත් ඉතින් කොළඹ ඇවිත් මෙහෙම යන්න පුලුවන් ද? කොහේ හරි ඇවිදින්න යන්න ඕනෙ...

පාර දෙපැත්තෙ බල බලා කල්පනා කර කර ගියපු මම දැක්කෙ Majestic City එක



ඔය තියෙන්නෙ බලන්න යන්න මරු තැනක්..

ගත්ත බෑග් එක කරට බැස්ස ඊලග හෝල්ට් එකෙන්


බුදු අම්මෝ මේකෙ තියන දේවල්, ලොකු LCD ටීවි , Laptop, ඔරලෝසු, ඇදුම් , සපත්තු , ඇපල්  ෆෝන් ,බ්ලැක් බෙරි ෆෝන්......

වීදුරු වලින් වටකරල තියන කඩවල් ඇතුලෙ තිබ්බඒව මම බලන් හිටියෙ කන්න වගේ .. නැතුව ගන්නන ඇ..

පැයක් විතර සිරි නරඹපු මම කැරකෙන පඩිපෙලකින් පහලට බැස්සෙ යකෙක් කන්න තරම් බඩගින්නෙන්..

මෙන්න බොලේ KFC එකක් තියනව, මේක මම කලින් දැක්කෙ නැනෙ..



කවද කාපු KFC ද, ඒත් ඉතින් අම්ම හදීසියක් උනොත් පාව්ච්චි කරන්න දුන්න දාහත් තියන නිසා මාත් ගියා KFC එක ඇතුලට.

කෑම දෙනතැන උඩින් ගහල තියන බොඩ් එක දැක්කහම මගෙ කට ඉබේම ඇරුන.. යකෝ මේ එක වේලකට යන ගානින් මට වේල් හතරක් කන්න පුලුවන්නෙ...

කමක් නෑ හැමදාම කන්නෑනෙ..

පොඩ්ඩක් වටපිටාව සෝදිසි කරල, ගන්නෙ මොනවද කියල හිතල, මාත් පෝලිමක පිටිපස්සට ගියා..

එතනට ගියහම එතන තව කෙලියයි! පෝලිමේ හොදට සිංහල කතා කර කර ඉන්න අය ඕඩර් එක දෙන්නෙ කඩ්ඩෙන්........

අපි කඩු ලග තියාගත්තට ඒව පාවිච්චි කරල තියනව යැ...

මේ ගැන කල්පනා කර කර ඉන්න කොට දැක්ක අති සුන්දර දර්ශනයෙන් මගේ හදවත කුල්මත්වුනා.. ඇග හිරිවැටිල ගියා....

සුරංගනාවියො තුන්දෙනෙක් KFC එක ඇතුලට එනව....

එතන හිටපු ලස්සනම සුරංගනාවි මගේ දිහා ලාවට බලල .. මට එහා පැත්තැ පෝලිමේ හිටගත්ත....



හප්පේ..... තියන සුදක්..... තියන ලස්සනක්... මේවගේ ගෑනු ළමයි ලංකාවෙ ඉන්නවද? දෙයියෝ..!

මට කෙදිරිත් ගෑවුනා

හිතේ තියන් හිටපු ගමේ රූප සුන්දරියන්ගෙ ඉටි රූප මේ සුරංගනාවිගෙ ලස්සන දැකල එක තප්පරෙන දියවෙලා ගියා

දැන් ඉතින් සිංහලින් කතාකරන්න බෑ එංගලන්තෙන් ආව වගේ ඉන්න ඕනෙ,..

ඔලුව කෙලින් කරගෙන, ගත්ත එංගලන්ත පෙනුමක්.

සිතුම්.... බිම නොබලන්.... ගව්ම කොටයි..! ඒ මගේ පිරිසිදු අවංක සිත..

ඒත් මගේ වල් හිත කිව්වෙ වෙන දෙයක්.ඒව කොහොමද දෙයියනේ මේකෙ ලියන්නෙ...!

තුන් හතර සැරයක් බිම බලපු මම නොදැනිම පොලිමේ එක වෙලා.....

මගේ ඕඩර් එක ගන්න හිටියෙ.. අධික කාර්ය බහුලත්වය නිසා මූනත මැලවිලා තිබුන අක්ක කෙනෙක්,

"what do you want sir? "

දැන් වැඩ පෙන්වීමේ වේලාවයි.......




"I want one zinger burger and a couk"

"medium couk"

"yes.. medium"
හප්පේ.... මට දැනුන සතුට.. ඇඩෙන්න වගේ..

මගේ රබර් ඇහැ ගියේ පුංචි සුරංගනාවි දිහාට....

අනේ...!  චූටි මගේ දිහා බලන්නකො....



මෙච්චර වෙලා කොම්පියුටර් ස්ක්‍රීන් එකට ඇගිල්ලෙන් ඇන ඇන හිටපුපහු  KFC  අක්ක මගේ දිහාට ආපහු හැරුන..

"Do..sjfi dfiia diuidp- ;podpo?"

මොකකක්.....?

"Sorry"

"Do..sjifiu iasfiu isudi -doa ddo?"

අක්ක කට ඇතුලෙ තියාගෙන කියපු හරුපෙ මට පොඩ්ඩක්වත් තේරුනේ නෑ..,ඇත්තටම ඇහුනෙ නෑ

"Sorry i can't hear you"

ටිකක් වෙලා සද්ද නැතුව හිටපු අක්ක ,

" මල්ලි ඔයාට මේව මෙතන තියන් කන්න ඕනෙද ? නැත් නම් ගෙදර ගිහින් කන්න ඕනෙද? "

කියල අහපි.

අයියෝ..! ඔය කොරේ ඉතින්,

කන ගාවට ආපු රොස පාට තොල් දෙක සුදුපාට ලස්සන අත් දෙකෙන් වහගන්න සුරංගනාවිව ඇස් කොනින් දැක්ක මට පොලොව පලාගෙන යන්න හිතුන..

"මෙ.. මෙතන, , ,නෑ ගෙදර .,, Take away"   කියල කිව්වෙත් ගොත ගහ ගහ.

 ලැජ්ජාවෙන් පිරිච්ච මගේ හිත කෑ ගැහුව....



   ඇයි දෙයියනේ... මටම මෙහෙම කරන්නෙ!



Saturday, June 29, 2013

අනේ ! පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ!






මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජ වාදී,ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ්‍යයෙක්,වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්සලාවට වරම් ලැබුනත්,
කොල්ල තාම ඉන්නෙ, ගෙදර : )

කොහොම උනත් මේ ගෙවුන කාලයේ දි මගෙ ජීවිතේට ලැබුන දේවල් බොහෝමයි.

ඒ දේවල් වලින් දෙකක් තමයි මේ ,

 පලවෙනි එක , උසස් පෙල යනු ඉතා භයංකාර විහිලුවක් බව, හොඳින් තේරුම් යෑම.

 දෙවනි එක , අන්තර්ජාලයේ බ්ලොග් අඩවි නමින් අපූරු දෙයක් තියෙන බව දැන ගැනීම.

පලවෙනි එක කෙසේ වෙතත්, දෙවනි එක ඒ කියන්නෙ බ්ලොග්, මගේ ජීවිතේට  ගෙනාව දේවල්නම් ගොඩක් තියෙනව ,




ඉතින් එතකොට , කොටස් වෙළෙඳපොළ කොහොමද මෙතනට ගෑවුනේ?

ඔව්, හොද ප්‍රශ්නයක්.

කොටස් වෙළෙඳපොළ ගැන හොයන්න ගිහින් තමා මට මුලින්ම බ්ලොග් අඩවියකට ගොඩවෙන්න
හම්බවුනේ.

ඒ දවස්වල විශ්ව විද්‍යාලෙ මැනේජ්මන්ට් ඩිග්‍රි එක කරපු වීරසූරිය අයිය හා හා පූරා කියල ජොබ් කට්ටක් හොයාගත්තෙ අවුරුදු තුනේ ඩිග්‍රිය, ස්ට්‍රයික් නිසා අවුරුදු හතරකට ඇදුන නිසා.

ඒ ජොබ් එක තමා Investment Adviser ඒ කියන්නෙ ආයෝජන උපදේශක, මේ ජොබ් එක තිබ්බෙ කොටස් වෙළෙඳපොළේ තැ‍රැව්කාර සමාගමක,
 


දවසක් මළ ගෙදරකදි හම්බවුන වීරසූරිය අයිය මගේ ඔලුවට කොටස් වෙළෙඳපොළ නොහොත් CSE (colombo stock exchange) ගැන දැම්මෙ ඔය වගේ දේවල් වලට මම උනන්දු නිසා වෙන්නෝනෙ.

"කොටස් වෙළෙඳපොළ ! අපෝ අපිට පුලුවන් ද ඕවට සෙට් වෙන්න?"

මම වීරසූරිය අයියගෙන් ඇහුව පලවෙනි ප්‍රශ්නෙ ඒක,

උත්තරේට මට හම්බ උනේ පැය බාගෙක විතර ලෙක්චර් එකක් එයා ඉතින් ආයෝජන උපදේශකනෙ : )

කියපු දේවල් වලින් ගොඩක් නොතේරුනාට මේ වැඩේ මටත් කරන්න පුලුවන් කියල අන්තිමේදි මට තේරුනා.

ඒත් ඉතින් වලට බහින්න කලින් වලේ මොනවද තියෙන්නෙ කියල හරියට දැනන් ඉන්න එපැයි,

කව්ද මේ වෙලාවෙ අපේ පිහිටට ඉන්නෙ..., කියන්න බලන්න.

ඔව් , Google දෙයියො තමා.වෙන කවුරුද?

සෙව්ම් යන්තරේ සැරිසරනකොට තමා මට හම්බ උනේ Guide to CSE බ්ලොග් එක,

මේ සුපිරි බ්ලොග් එක කියෙව්වහම මට කොටස් වෙළෙඳපොළ ගැන පුදුම ආසාවක් ඇති උනේ, ගොඩක් විස්තර හෙව්ව, ගොඩක් මහන්සි උනා,
කොටින්ම කියුවොත්, හැමදාම පිළිවෙලට වැඩ කරන්නෑ කියල අම්මගෙන් බැනුම් අහන මම මේ වෙනුවෙන් වෙනම file හැදුව වෙනම notes හැදුව.


කොහොමහරි මම පොඩි කාලෙකින් CSE එක ගැන ලොකු දැනුමක් ලබාගත්ත, මේ ගැන වීරසූරිය අයියත් හිටියෙ පුදුමෙන්!

ඊලගට තිබුනෙ CDS Account එකක් open කරල වැඩේ පටන්ගන්න.

මේ හැම වැඩේටම උපදෙස් දුන්නෙ වීරසූරිය අයිය, මිනිහ මොනව හරි කියල CSE එකට එන්ටර් වෙන්න තිබ්බ මගෙ ආසාව වැඩිකරා.

මේ මිනිහ දවසක් කියුව කතාවක්,



"මල්ලි අහල තියනවද වෝරන් බුෆට් ගැන, මිනිහ ලෝකෙ ඉන්න ලොකුම සල්ලි කාරයෙක්, මල්ලි දන්නවද මිනිහ කොහොමද සල්ලි හම්බකරේ කියල, ආයෝජනේ කරල .. , එයා stock ගන්න මුලින්ම පටන් අරන් තියෙන්නෙ අවුරුදු එකොලහේදි ,   ඒත් එයා ලගදි කියල තියනව අපරාදෙ ඊටත් කලින් වැඩේ පරන්ගන්න තිබ්බෙ කියල, ඉතින් බලන්න මල්ලි ...  අපි කොච්චර පරක්කුද කියල, හැබැයි කොහොමහරි වැඩේ හරියට අල්ල ගත්තොත් ගෙදර ඉදන් සල්ලි හොයන්න පුලුවන්"

එයා අහපු ප්‍රශ්න වලට එයාම උත්තර දිදී කියපු කතාව අහපු මාත් හිතාගත්ත බුෆට් වගේ වෙනව කියල ඊට පස්සෙ Hugh Hefner වගේ පොරක් වෙන්න බැරි යෑ.
Hugh Hefner කියන්නෙ play boy සගරාවෙ අයිතිකාරය මේ ඉන්නෙ පල්ලෙහායින් ශොය් නෙ



ඉතින් කොහොමහරි....,

CDS Account එකත් හැදුව,

කොටස් වෙළෙඳපොළේ online කොටස් ගන්න පුලුවන්, බලන්න පුලුවන් software එකත් දාගත්ත,

හා හා පුරාකියල පලවෙනි වතාවට සොෆ්ට්වෙයර් එකෙන් Main Bord එක බලපු දවසෙ මට හිතුනෙ මාත් දැන් බුෆට් කෙනෙක් කියල.

දවස් දෙක තුනක සොෆ්ට්වෙයර් අධ්‍යයනයෙන් පස්සෙ තමා කොටස් ගන්න ඕනෙ,
ඒත් කොටස් ගන්න සල්ලි ඕනනනෙ,

ඒකට ඉතින් අප්පච්චිගෙ සරණ තමා, දෙදාහක් විතර ඉල්ල ගන්නව දෙදහට විසිදාහක් දෙන්න බැරියැ.

ඔන්න බුෆට් කෙනෙක් වීමේ සිහිනයේ මුල් පියවරේ අවසන් අදියරයි මේ,
  
"අප්පච්චි මේ.. මට සල්ලි වගයක් ඔනෙ, දෙන්න පුලුවන්ද?"

"සල්ලි, කීයක්ද  දැන් ඕනෙ?"

 "දෙ..දෙදාහක් විතර දෙන්නකො, මම ආපහු  දෙන්නම්"

  "දෙදාහක් ! දෙදාහක් මොකටද උබට, අනික කොහොමද අපහු මට සල්ලි දෙන්නෙ කියපන් බලන්න"

 මෙන්න මගේ චාන්ස් එක ගත්ත ගට කරට




 "අප්පච්චි..   මම ඔය සල්ලි කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න හදන්නෙ දැන් මමත් CSE එකේ..............."


 මගේ අදහස් දැක්වීම පටන් ගන්නකොටම අප්පච්චි පැනපි මැද්දට


"කොටස් වෙළෙඳපොළ...! අනේ පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ , ඒ සැරේ සූදුවට යන්නද හදන්නෙ....."

"නෑ අප්පච්චි, ...මේක..."

"පලයං ගිහින් ප්‍රයෝජනවත් වැඩක් කරපන්,...කොටස් වෙළෙඳපොළ..., කොටස් වෙළෙඳපොළ , උඹට ඕනෙ නෑ, හොදට ඉගෙනගනින් එතකොට සල්ලි හොයන්න පුලුවන්, ආපහු ඔය ගැන කතා කරන්න බෑ හරි ද,"

හිත ඇතුලෙ හිටපු අනාගත වෝරන් බුෆට් අප්පච්චිගෙ වචන වලට කොහේගියාද මන්ද?

ඔලුවත් බිමට පහත් කරගෙන එලියට ගිය මට මතක් උනේ උදේ බලපු ප්ලේබෝයි අයිති කාරය හිටපු
පිංතූරේ,

                  මුන් හිනාවෙන්නෙ මට ද?