Monday, November 17, 2014

පළමු වෙඩිල්ල


"අඩේ... අන්න රයිඩර්ස්ල එනව"

ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහම කොල්ලොන්ගෙ හිතට එන්නෙ පට්ට ගැම්මක්.

සමහරුන්ගෙ හීනෙ ගුවන් හමුදාවට යන්න, සමහරු නේවි එතකොට කොමාන්ඩෝ කෙනෙක් වෙන්න, ඒ වගේම රයිඩර් කෙනෙක් වෙලා උජාරුවට බයික් එකේ කරක්ගහන්න, සමහරුන්ට හීන තිබුන.

මේ යුද්ධෙ කාලෙ

මේ කාලෙ මම හොද පාසල් සිස්සයෙක්, පොඩි.. එකෙක්...


පොඩි කියුවට පොඩිමත් නෑ ඉතින්

මේ වෙනකොට යුද්ධෙ අපිට නුහුරු දෙයක් උනේ නෑ.වෙඩි සද්ද බෝම්බ සද්ද, අරෙහෙ  බෝම්බයක් පිපුරුනා , මෙච්චර ගානක් මැරුනා..මෙච්චරකට තුවාලයි..

මේ දේවල් කොච්චර සංවේදීවුනත් මේව ටික ටික අපේ ජීවිත වලට හුරු උනේ නොදැනීම වගේ.

"මචං කොටි මූතූර් වලට ගහල ඊට පස්සෙ ට්‍රින්කො අල්ලන් මේ පැත්තට එන්නලු හැදුවෙ.ඒත් කොමාන්ඩෝස්ල සෙට් එකක් ගියපු හින්ද වැඩේ හරි ගිහින් නෑ ලු.
අපේ අය මරාගෙන මැරෙන්න ගිහින් තියෙන්නෙ බං, ගියපු සමහර කොමාන්ඩෝස්ල ආපහු ඇවිත් නෑ කියලත් කියනව බං"

පාරෙ වේගෙන් යන ආමි ට්‍රක් දිහා බලාගෙන කොල්ලො මේ වගේ අහපු, ඇහුන කතා කියන්නෙ, හිතේ ලොකු ආඩම්බරයක් භක්තියක් තියාගෙන.මේ කතාවල ඇත්ත බොරු කොහොම වෙතත්, හමුදා නිල ඇදුමක් ඇදන් තුවක්කුවක් පපුවට තුරුළු කරන් යන අපේ උන් දැක්කහම ඇත්තටම මහා ලොකු ලෙන්ගතුකමක් දැනුන.



ක්ලේමෝ, ආර්.පි.ජී ,ග්‍රෙනේඩ් මේ දේවල් මේ වෙනකොට අපිට හරි හුරු පුරුදු වචන,අපි ආයුධ ගැන කතා කරන්න, ඒව අතගාන්න මාර ආසයි,කොච්චර ආයුධ වර්ග තිබුනත් මේ හැම ආයුධයකටම වඩා හුරු පුරුදු ගොඩක් අය දන්න ආයුධයක් තිබුන

ඒ ටී56

ඇමතිල එනකොට හමුදාවෙ අය අරගෙන එන පුංචි මැශින් තුවක්කු, පිස්තෝල, තව ලස්සන නානාප්‍රකාර ආයුධ වලට ආස උනත් අපිට ගොඩක් දකින්න හම්බ වුන ආස වුන ආයුධෙ මේක,

කොහොමද මෙයාව පාවිච්චි කරන්නෙ ? එතකොට,
ආමි එකේ අයට විතරද මේක පාවිච්චි කරන්න පුළුවන් ?
සිවිල් අයට බැරිද?

අපි හැමෝම දන්න ඒත් නොදන්නව වගේ ඉන්න ප්‍රසිද්ධ රහසක් තිබුන...

ඒ මේ වෙනකොටත් ගමේ බහුතරයක් කොල්ලන්ට ට්56 පාවිච්චි කරන්න පුළුවන් කියන එක, පාවිච්චි කරල තියනව කියන එක.

එතකොට මම.........

කොච්චර අතපත ගාලතිබුනත් කොච්චර ආසවුනත් මේවෙද්දි මම අල්ලල තියන කිසිම තුවක්කුවකින් වෙඩි තියල තුබුනෙ නෑ. මට වෙඩිතියල බලන්න තිබුනෙ පුදුම ආසාවක්.

මගේ පන්තියෙ සමහරු උන් වෙඩිතියපු හැටි කියද්දි මට දැනුනෙ මහා ඉරිසියාවක්...


ඇයි දෙයියනේ මට චාන්ස් එකක් දෙන්නැත්තෙ..මට වෙඩිතියන්න අකැපද?


ඒ උනත් වැඩි කල් ගියේ නෑ, මටත් ආව චාන්ස් එකක්.


ජිනේ අයිය., ජිනේ අයිය කවුද,මොනවද කරන්නෙ ඒව කොහොම වුනත් දවසක් ජිනේ අයියගෙ අතේ තිබුන ටි56 දිහා කන්න වගේ බලන් හිටපු මාව දැකපු ජිනේ අයියගෙ කටින්, මං මෙච්චරකල් අහන්න හිටපු වචන සෙට් එක පිටවුනා

"මල්ලි වෙඩිල්ලක් තියල බලන්න ආසද ?"

ඉබ්බ දියට දැම්මහම මොකක්ද එකක් කියුවලු.

 "නියමයිනෙ මට වෙඩි තියන්න දෙන්න පුළුවන්ද?"

මේවෙද්දි  ජිනේ අයියගෙන් ඉල්ලගත්ත ට්56න්, ජිනේ අයිය ඉස්සරහ මගේ වැඩ කෑලි ගොඩයි...

තුවක්කුව හතරවටේටම ඒම් කරනව, දනහිසින් නැමිල වෙඩි තියන්න හදනව..අප්පේ බඩ ගෑවෙ නැති එක විතරයි..

"මං කියල දෙන්නම් මල්ලි කෝඕක දෙනකො මෙහාට "

වැඩේ හරිය එත් ඉතින් මට ඉන්න බෑනෙ..

"මේ තුවක්කු ගලවල සුද්ධ කරනව නේද? ඒක කොහොමද කරන්නෙ අමාරුද?"

"නෑ මල්ලි එච්චර අමාරු නෑ  ඉන්න මම කියල දෙන්නම්"

ඔන්න චාන්ස් එක මෙන්න අයියල.

ඊට පස්සෙ පටන්ග්ත්තෙ අවි ආයුධ, අ නෑ ට්56 ගැල්වීම සහ හයි කිරීම පිලිබඳ ලෙක්චර් එක, හිතුවතරම් වැඩේ අමාරු නෑ,වැඩේ ලේසියි.

මැගසින් එකට උන්ඩ පුරවන්නෙ කොහොමද,ඒම් කරන්නෙ කොහොමද,ලෝඩ් කරපු උන්ඩයක් ආපහු එලියටගන්නෙ කොහොමද මේව ඊලග පාඩම්,

ඊට පස්සෙ තමා ආසම පාඩම, වෙඩි තැබීම...



හූ...රේ....

ඕව කරන්න අප්පචිගෙන් අවසර ගන්නත් එපෑයැ, අප්පච්චි අවි ආයුධ වලට අකමැතියි! ඒත් ඉතින් මේ චාන්ස් එක මිස් කරන්න බෑ නොවැ.

" අප්පච්චි එක වෙඩිල්ලයි අනෙ එකක් විතරක් තියන්න දෙන්නකො...."

සෑහෙන ගේමකින් පසු

"ඕන එකක් කරගනින් හැබැයි පරිස්සමින් "

අම්මෙ හිතට දැනුන සතුට.. පරක්කු වෙන්න හොදනෑ ඉක්ම්නට වැඩේ කරන්න ඕනෙ.



අපි ෂුට් කරන්න ‍තෝර ගත්තෙ ගේ පිටිපස්සෙ තියන මහා සියඹල ගහ

"මල්ලි අපි අර සියඹලා ගහේ මුලට තියමු"

ඈ ඒ මොන වැඩක්ද..

මට ඕන වුනේ සියඹල අත්තෙ ලණුවක් ගැටගහල ඒකෙ බෝතලයක් එල්ලල ඒකට පොඩි තට්‍ටුවක් දාල ඒක හෙල්ලෙනකොට හෙල්ලෙන මූවින් ටාර්ගට් එකට ෂූට් කරන්න.

ඕක කියන්න ගියොත් මේක කරන්න වෙන්නෑ,

හොදම වැඩේ තියනව මුල පා මුල බෝතලයක්..

"මල්ලි ඔය ගන් එක පහතට කරල තියා ගන්න කට පහතට.. මෙතන ඉදන් තියන්න බලන.."

ගහේ ඉදන් අඩි විස්සක් විතර දුරින් අපොයි..

"මං තව ටිකක් පස්සට යන්නම් ලග වැඩිනෙ දුර ඉදන් තිබ්බහම තමානෙ මරු"

"නෑ නෑ ඔය හොදයි කට පැත්ත පහලට කරලම වෙඩි තියන්න ඕනෙ හොදද"

කොහොම හරි එජෙස් කරල දැන් අපේ සැකසුම මෙහෙම,

 ගහ මුල බෝතලය මම අඩි තිහක් දුරින් අවි රහිතව ජිනේ අයිය ගත්ත ගන් එක.

"හරි මල්ලි මම ලෝඩි කරල දෙන්නම්, ටිගර් එකට අත තියන්න එපා හරිද, තුවක්කුවෙ කට පහතට කරලම තියාගන්න හරිද"

මොකක්, මට ලෝඩ් කරන්න දෙන්නැද්ද?

මේක මාර බයක්නෙ දෙයියනේ කොහොමද මේ මනුස්සය තුවක්කු පාවිච්චි කරන්නෙ

ජිනේ අයිය තුවක්කුව ලෝඩ් කරා දැන් ජීව උන්ඩයක් වෙඩි තැබීමට සූදානම්,

"මල්ලි මම මැගසින් එක ගලවන්නම් ඒක කෝකටත් හොදයි"



ඈ..... නොදකින්

"හා කමක්නෑ අයියෙ"

කමක්නෑ වෙඩිතියන්න හම්බෙනවනෙ.

මං ලගට ආපු ජිනේ අයිය තුවක්කුව දීල පස්සට පැන්නෙ වෙඩිල්ල වගේ

මෙච්චරකල් බලන්හිටිය චාන්ස් එක දැන් මගේ ලග..

ඒත්... ඔක්කොම වෙනස් වුනා හිතේ තිබුන සතුට ගොඩක් අඩු වුනා

හිතට දැනුනෙ මහා පුදුම හැගීමක්, ඇත්තටම ඒක බයක්.....

මම හිටන් ඉන්න තැනට පොඩ්ඩක් එහායින් තියන කුස්සියෙ පිගන් හෝද හෝද මගෙ අම්ම ඉන්නව.මේ ලෝකෙ මම අම්මට තරම් ආදරේ කරන වෙන කවුරුත් නැති තරම්.

සියඹල ගහට කෙලින් ගෙදර ඉන්නෙ ජනක අයියල.ඒ ගෙදර පොඩි හුරතල් මල්ලිල දෙන්නෙක් ඉන්නව,

හදීසියෙවත් වෙඩි තියනකොට අම්ම හරි, අක්ක හරි එලියට ආවොත්,

මට වැරදිල උන්ඩෙ ජනක අයියල ගෙදර දිහාට ගියොත්,

හිතට ආවෙ ලොකු බරක්

මට පොඩ්ඩක් හරි වැරදුනොත් ජීවිතයක් ඉවරයි නේද

ජිනේ අයිය මෙච්චර පරිස්සම් වුනේ බය වුනේ මේ දේටද,

හිතේ ඇතිවුනේ හරි අමුතු හැගීම් ගොඩක්

හොදම වැඩේ ඉක්මනට වෙඩි තියල ඉවරකරන එක,

ඒම් එක හරි,   හිතුවෙවත් නැති පොඩි තද කිරිල්ලකින් තුවක්කුව පත්තු වුනේ මූන ඉස්සරහ රතිඤ්ඤයක් පත්තු කරාවගේ.



ඉලක්කය හරියටම හරි බෝතලේ කුඩු.

තුවක්කුව ඉක්මනින් ජිනේ අයියට දෙනකොට අයියගෙ මූනෙ තිබුනෙ හිනාවක්,

"මල්ලි හොද ඉලක්ක කාරයෙක්නෙ මං හිතුවෙ නෑ ඔය පොඩි බෝතලෙට තියන්න පුලුවන් වෙයි කියල"

හිතට සතු‍ටුයි, ඒත් හිතේ මම බලාපොරොත්තු නොවුන හැගීමක් තිබුන,ඒක විස්තර කරන්න අමාරු දෙයක්,
.................................................................................................................................

ඒ මගේ පළමු වෙඩිල්ල ඒ උන්ඩෙ කොපුව මගේ ලග තාමත් තියනව,


ඒත් මගේ හිතට ඒ වෙඩිල්ල ප්‍රශ්නයක් ඉතිරි කරා

ඇත්තටම වෙඩි තියන එක ලේසිද?




19 comments:

  1. තුවක්කුවක් පාවිච්චි කරන එක, කොල්ලෙකුට එක වයසක දි එන ආසාවක් කියල මට හිතෙනව. මං නම් වෙඩි තියල නෑ. මට පොඩි සිද්ධියක් මතක් වුණා.

    අපේ ගෙදර තිබුණා බලපත්‍ර සහිත තුවක්කුවක්. ඒ මං පුංචි කාලෙ. (පසු කාලයක ඒක ආපහු රජයට භාර දුන්නා.)එක දවසක් ඕකෙන් පොල් ගහක හිටපු මොකෙක් හරි සතෙකුට වෙඩි තියන්න හැදුවා, අපේ ගෙදරට ඇවිත් ඉඳපු කෙනෙක්. ඔය අතරෙ ම ගෙදරට ආවා හමුදා සේවයේ ඉඳල නිවාඩු ආ කෙනෙකුත්. අර මුලින් කිව්ව කෙනා පොල් ගහේ ඉන්න සතාට වෙඩි තියන්න කියල තුවක්කුව දුන්නා පස්සෙ ආපු පුද්ගලයාට. ඔහු ඉලක්කය අරගෙන පොඩ්ඩක් වෙලා ඉඳල, වෙඩි තියන්නෙ නැතුව තුවක්කුව ආපහු දුන්නා. ඒ සිදුවීම තදින්ම මගෙ මතකයේ රැඳුනා.

    ReplyDelete
    Replies
    1. මටත් ඒකාලෙ තුවක්කු පාවිච්චි කරන්න මාර ආසාවක් තිබුනෙ,
      මට මේ සිද්දියෙන් පස්සෙ තුවක්කු එපා නොවුනත් දැන් මට් හිතෙනව ඇත්තටම ආයුධයක් කියන්නෙ ඒකාලෙ හිතන්හිටියවගෙ සෙල්ලම් බඩුවක් නෙමෙයි කියලත්, ඒවගේම ‍ෆිල්ම් වල පෙන්නනව වගේ ඒවගෙන් වැඩකිඩ දාන්න හොදනෑ කියලත් :) :) :)

      Delete
  2. කැඩේට් ට්‍රේනින් එකට යද්දි නං වෙඩි තියන්න පුරුදු කරා. ඒත් දිගටම වෙඩි තියන්න බැරි උනා. අපේ මලයනං ඒ හාදයොන්ගේ බැච් එකේ හොදම වෙඩික්කාරයා උනා..

    ReplyDelete
    Replies
    1. අහ් ඒ කියන්නෙ වෙඩික්කාරයෙක්,මට කැඩෙට් යන්න බැරි උනානෙ ඕන්

      Delete
  3. බෙස්ට් ෂූටර් හිහි
    ඒකත් පට්ට ඇ...............
    තුවක්කු අතේ තියං ඉන්න උංගෙන් බාගයක්ම වෙඩි තියන්නෙ හිතේ කැමැත්තෙන් නෙවී බං...
    ඒක තේරුං ගන්න එහෙම වෙලාම බලන්න ඕන...
    ආමි එකේ කීයෙන් කී දෙනාද ආතතියට ලක් නොවී ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මටත් ඕක හිතුනා, තුවක්කුවක් තිබුනට විතරක් මදි වෙඩි තියන්න පුළුවන් හිතකුත් හැදිල තියෙන්න ඔනේ මට හිතෙන විදිහට

      Delete
  4. ඒක තීරණය වෙන්නෙ ඒ අවස්ථාවෙ තියෙන වටපිටාව අනුව තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් එක වෙන්න පුලුවන් එතන වෙඩිපිටියක් උනානම් මට හිතුන දේවල් ඒවෙලාවෙ නොහිතෙන්නත් තිබුන

      Delete
  5. ෆයරිං වලදී බලන්න අවශ්‍ය ෙගාඩක් දේවල් තියෙනවා. ඉලක්කය දෙස නිවැරදි අැසෙන් බැලීම.... ඉලක්කයේ පහළ පාදයේ හරි මැදට ඉලක්ක කිරීම... ඒ වගේම හුස්ම පාලනයත් හරිම වැදගත්... අනික තමයි වෙඩි තියන්න ඉන්න අාකාරයත් ඉතාවැදගත්.......................

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම මුලින් වෙඩි තිබ්බ වතාවෙ ඔය කිසිදෙයක් දැනන් හිටියෙ නෑ,මට හම්බ වුනේ බොහොම පොඩි ට්‍රේනින් එකක්නෙ ,පස්සෙ බ්ලොග් කියවිල්ලෙන් දැනගත්ත ටිකක් ඒ ගැනත් : )

      Delete
  6. මැද කියවන් එනකොට මං හිතුව වෙඩි තියද්දි තුවක්කුව පස්සට විසිවෙලා ඇවිත් මූණ සමතලා වෙච්ච කතාවක් කියන්න යන්නෙ කියල. :D බලද්දි වැඩේ හොඳට කරගෙන..

    වාසනාවද අවාසනාවද මන්දා මට අද වෙනකම් තුවක්කුවක් අල්ලල බලන්නවත් චාන්ස් එකක් ලැබිල නෑ..

    ReplyDelete
    Replies
    1. මට මුලින්ම චාන්ස් එකක් හම්බුනා බැරල් දෙකේ ලොකු තුවක්කුවකින් වෙඩි තියන්න චාන්ස් එකක්, ඒකට දාන්න තිබුනෙ ලොකු රතුපාට උන්ඩ , ඒ උන්ඩ වල තිබුනෙ පුංචි බයිසිකල් බෝල වගේ යකඩ ගුලි,ඒ කාලෙ මම ගොඩක් පොඩි නිසාත්, මම පිටි පස්සට විසි වෙයි කියල හිතුන නිසාත් මට එදා වෙඩි තියන්න හම්බ උනේ නෑ, එද වෙඩි තිබ්බනම් මම කවදාවත් තුවක්කුවක් අල්ලන එකක් නෑ

      Delete
  7. ජීවයක් නැති වස්තුවකට වෙඩි තියද්දි මෙච්චර තිගැස්මක් ඇතිවෙනවානම් පණපිටින් ඉන්න සතුරෙකුට වෙඩි තියද්දි හිතට කොහොම තිගැස්මක් දැනෙනවා ඇත්ද ...සතුරෙක් උනත් තමන්ගේ අතින් විනාස වෙන ජීවිතයක්නෙ .

    ReplyDelete
    Replies
    1. ඇත්ත හංසි මටනම් හිතාගන්න බෑ ඒක , මම ඔය ප්‍රශ්නෙ මම අදුනන හමුදාවෙ සේවය කරන අයගෙන් ඇහුවහම මට හම්බවුන උත්තර හරිම සංවේදියි

      Delete
  8. උඹේ හැඟීම් කියවද්දි මට හිතුනෙ තුවක්කුවක් එල්ල කරල මිනිහෙකුට‍ වෙඩි තියන කෙනෙකුගෙ සිතිවිලි මොන වගේ වෙන්න පුළුවන්ද කියල.

    ReplyDelete
    Replies
    1. එහෙම එවුන්ට සිතුවිලි එන්නේ නැහැ රාජ්. ඒවා ගල්වෙලා තියෙන්නේ.

      Delete
  9. මම පලවෙනි වතාවට මෙහාට ආවේ....
    හොඳ අත්දැකීමක්...

    මමත් Fire Arm එකකින් වෙඩි තියල නැහැ, නමුත් වෙඩි තියන තැන් වල ඇති පදම් ඉඳල තියෙනවා.

    ඒ වගේම ටිකක් හොඳ මට්ටමේ Air Rifle එකකින් ඇති පදම් වෙඩි තියල තියෙනවා.
    හැබැයි ඒකෙන් වෙඩි තියද්දි යන පෙලට් එක මුන් ඇටයක් සයිස් නිසා ඒම් එක ගන්න එක ටිකක් අමාරුයි.
    දුර බලන්න පුළුවන් හොඳ ස්කෝප් එකක් තිබ්බත් මට ඒකට හුරු වෙන්න බැරි උනා.

    මිනිහෙකුට තුවක්කුවක් එල්ල කරලා කොකා ගස්සන එක අමාරු නැහැ.
    අමාරු වෙන්නේ එතනින් පස්සේ ටික,
    පලවෙනි එක වෙඩි වැදිච්ච මිනිහ ලඟට යන්න සිද්ධ වෙනවනම්, ඒ මිනිහ මැරෙන්න වැටිලා දඟලනවා බලන්න වෙනවනම්...
    ඒ කියන්නේ හෘද සාක්ෂිය එක්ක ඩීල් කරන්න වෙනවනම් වැඩේ අවුල්...

    ReplyDelete
  10. මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේ (http://jangun.wordpress.com) වැටිලා තිබුණ කමෙන්ට් එකක් ඔස්සේ තමයි මෙතනට ආවේ. බොහොම ලස්සනට තරුණ සිතක සිතුවිලි විස්තර කර තියනවා.

    මේ රයිඩර්ස් කියන වචනයත් අර ත්‍රී වීල් කියන වචනය වගේ අපි දේශීයව හදාගත් එකක් මිසක් නිවැරදි යෙදුම නෙවෙයි. මෙහි නිවැරදි යෙදුම Quick Reaction Team = QRT වියයුතුයි. QRT එකක් පයින්, වාහනයකින්, ජල යාත්‍රාවකින්, ගුවන් යානයකින්, පිටත් කර යැවිය හැකියි.

    T 56 සහ AK 47 යන අවි දෙක අතර වෙනස ඔබට තවම වැටහෙන්නේ නැතුව ඇති. එය ඔබේ වරදක් නොවේ. ඔබ මේ විෂයයට ආධුනිකයකු නිසා. ඔබ දක්වා ඇති T56 පින්තූරයේ ඇත්තටම තිබෙන්නේ AK 47 අවියක්. බලන්න එහි තුවක්කු බටයේ අග කෙළවර අංශක 45 ක පමණ කෝණකට කපා දමා තිබෙනවා. එහෙම තිබෙන්නේ AK 47 අවියේ.

    මෙවැනි කතන්දර තවත් ලියන්න. ඒ වගේ රසවත් සිදුවීම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

    ReplyDelete
  11. මාත් ආවෙ අදයි. අපිත් තරුණ උනා වගේ. තව ලියන්න. ලස්සනයි.

    ReplyDelete