1996 මේ මට අවුරුදු හයක් පිරුන අවුරුද්ද....
අවුරුදු හය කියන්නෙ පොඩි ළමයෙක්ගෙ ජීවිතේ ලොකු පියවරක් තියන අවුරුද්ද නේද? ඔව්
ඇයි අපි මුලින්ම ඉස්කෝලෙ යන්නෙ මේ වයසෙදිනෙ, ඉතින් මාත් ඔන්න ඉස්කෝලෙ යන්න පටන් ගත්ත...
ක/කටුකුරුන්ද ධර්මපාල මහා විද්‍යාලය
මේ මගේ පලවෙනි ඉස්කෝලෙ.,
ඇතුලත් කල දිනය - 1996.01.12 අස්වූ දිනය -1996.03.07
මගේ ශිෂ්‍යයන්ගේ කර්ය්‍ය දර්ශනයේ තියෙන්නෙ එහෙම.
නාගොඩ සුදු සීයත් එක්ක පුට්සයිකලේ ධර්මපාලෙ එක වසරට මට යන්න හම්බවුනේ මාස දෙකකටත් අඩු කාලයක්.....
මගේ අප්පච්චි රජයෙ සේවකයෙක්, අම්මත් එහෙමයි, අප්පච්චිට දුෂ්කර සේවයට යන්න උනේ මේ අවුරුද්දෙ.
ඉතින් මාසයක් විතර අම්මවයි, අක්කවයි, මාවයි කළුතර දාල අප්පච්චි ගියේ,අපිට එහෙ ඉන්න ගෙයක් හොයන්නලු, අපිට එහෙදි අළුත් ඉස්කෝලෙකට යන්න හම්බෙනවලු, අප්පච්චි කොහෙද ගියේ කියල අහන වෙලාවට අම්ම මට කිව්වෙ එහෙම.
කොහොමහරි ඇගිලි ගැන ගැන හිටපු ඒ දවස ආව...
පොඩි බඩු ලොරියක අපේ ගෙදර තිබුන බඩුපටවගෙන අපි අපේ අළුත් ජීවිතේ පටන්ගන්න පිටත් වුනා.
බඩු ලොරියෙ ඉස්සරහින් අප්පච්චිත් එක්ක ගිය මට අපේ අළුත් ගමේ හැම දේම ගොඩක් අළුත්....
තල් කොලවලින් වට කරපු පුංචි ගෙවල්, පාර පුරා බෑ.... බෑ.... කිය කියා... දුවන එළු රංචු , මොල්ලිය ලොකු විසාල කින්නියා හරක්.., තැන තැන වැවිල තියන තල් ගස්... මේ මම කවදාවත් දැකපු නැති දේවල්..
මෙහෙ මිනිස්සුත් වෙනස්, ගොඩක් පිරිමි අය හිටියෙ සුදු පාට පොඩි තොප්පියක් දාගෙන, ගෑනු අය ඔලුවෙ ඉදන් සාරියකින් වහගෙන.. ඒත් ඒ හැම දෙනාම අපිදිහා හිනාවෙලා බැලුවෙ අපිව පිලිගන්න වගේ.
කැඩිච්ච තාරපාරක් දිගේ අන්තිමේදි අපි මුහුද ගාවතිබුන අපේ නැවතුමට ආව.නැගෙනහිර පලාතෙ අළුත් ආරම්භයක්,
මේ....
කින්නියාව
කින්නියවෙ බහුතරයක් ඉන්නෙ මුස්ලිම් අය දෙමළ, සිංහල අය නැතුවමත් නෙමෙයි, කොහොම වුනත් පොඩිමට මේ අයගෙ වෙනස තේරුනේ කතාකරන භාෂාවෙන් විතරයි.
අපි මුලින්ම හිටියෙ තොරෙයිඅඩි වල,මුහුදට කිට්‍ටුවෙන් තිබුන ලෑලිවලින් වහන දොරක් තිබුන පොඩි කඩ කාමරයක, මේ කිට්‍ටුවෙන් තිබුනෙ මහතුන් මුදලාලිගෙ කඩේ..
මේ පුංචි ගෙදර අපි හිටියෙගොඩක් සතුටින්.
අප්පච්චියි අම්මයි වැඩ කරේ කින්නියාවෙ නෙමෙයි. සින්න කින්නියාවල ඒ කියන්නෙ පොඩි කින්නියාවෙ, මුහුදෙන් එහා පැත්තෙ ගොඩබිමේ...
දැන් තොරෙයිඅඩි ඉදන් දිග පාලමක් සින්න කින්නියා වලට තිබුනත් ඒ කාලෙ අපිට තිබුනෙ වෙන ක්‍රමයක්, ඇත්තටම අපූරු ක්‍රමයක්, මේකත් පාලමක් හැබැයි වෙනස්
මේක තමා.....
පාලම් පාරුව
දැකල තියනවද පාලම් පාරුව, ගිහින් තියෙනවද මුහුද මැදින් පාලම් පාරුවෙන්?, ඒක ජීවිතේ විදින්න ඕන හොද අද්දැකීමක්.
පාලම් පාරුව කියන්නෙ නැවක්..!
අපෝ නෑ , ඒත් ඒකාලෙ කවුරුහරි මගෙන් ඇහුවොත් මම කිව්වෙ එහෙම, පුංචි මට ඇත්තටම ඒක ගොඩක් විසාලයි..
තනිකර යකඩ වලින් හදල තියන පාලම් පාරුවට උස් පහත් කරන්න පුලුවන් යකඩ පාලම් දෙකක් තියෙනව්වා... තව එන්ජින් දෙකකුත් තියෙනව ,
එන්ජින් දෙකක් තියෙන්නෙ මුහුද මැදදි එකක් කැඩුනොත් අනික පාවිච්චි කරන්නලු.
ම්.... එතකොට දෙකම කැඩුනොත්....!
ඔය තියෙන්නෙ භාන්ඩෙ පහලින්
ගමනට පැය බාගයක් යනව. ඉතින් පාරුව මගහැරුනොත් පැය බාගයක් වෙරලෙ. හදිසිනම් බෝට්‍ටුවෙන් යන්න පුලුවන්, ඒකට ඉතින් සල්ලි ඕනෙ.
වාහන, මිනිස්සු පුරවගෙන පාලම් පාරුව ගොඩට එනකම් මිනිස්සු ඉන්නෙ නොයිවසිල්ලෙන්. දඩස් ගාල පාරුවෙ යකඩ පාලම ගොඩබිමේ වදිනකොට මුලින්ම බහින්නෙ මිනිස්සු, ඊට පස්සෙ පුට් සයිකල්,බයික්,ඊට පස්සෙ ලොකු වාහන.
එතකොට නගිනකොට, නගිනකොට මුලින්ම නගින්නෙ ඉතින් මම..
පොඩි ළමයි මුලින්ම නගිනව ඒ යන්න හදීසියට නෙමෙයි. මුහුද හොදට බලන්න පුලුවන් හොද තැනක් අල්ල ගන්න.
"පුතා, දූ අනේ! පරිස්සමින් බලාගෙන වැටෙයි..!"
"අපි වැටෙන්නෑ.. අම්මෙ"
ඒදන්ඩක් දිගේ එනව වගේ බයෙන් බයෙන් පාරුවට නගින අම්මට අපේ අක්ක කියන්නෙ එහෙම.
පැය බාගෙ ගමන අක්කටයි මට යි කවදාවත් දැනුනෙ නෑ. මොකද බලන්න ගොඩක් දේවල් තියෙනවනෙ.
මොනවද මුහුදෙ මැද ඔච්චර බලන්න තියෙන්නෙ නේද,
ඇයි දෙයියනේ මාලු.....
ලොකු මාලු රංචු, පොඩි මාලු රංචු පාලම් පාරුව යටින්යන්නෙ අපිට පෙන්නද කොහෙද,
මෙ අතරෙ... විෂේශ සත්තුත් ඉන්නව,
සුදු පාට ඒත් විනිවිද පේන ඇගක් තියෙන බෝලයක් වගේ සතෙක්
"අප්පච්චි අර මොකාද?"
"ඒ පුතා ජෙලි පිශ් උන් ලස්සනයි තමයි ඒත් ගෑවුනොත් කසනව, ඔය කඩි කඩි කිය කිය මිනිස්සු එන්නෙ උන් ගෑවුනහම"
ඒ මම ජෙලි පිශ් දැකපු මුල්ම දවස, හරි අපූරු සතෙක්
එදා ඉදන් පාරුව යටින් යන මාළු රංචු අතරෙ මායි අක්කයි ජෙලි පිශ්ලව හෙව්වෙ තරගෙට වගේ.
මේ නම් අපූරු පලාතක්...
ඒ වගේම මරු මරු කෑමත් පිරිල, කෑම කියන්නෙ ඉතින් පොඩිකාලෙ ඉදලම මගේ ප්‍රධාන මාතෘකාවනෙ....
උනු උනු තෝසෙ ලාතැඹිලි පාටට හුරු පොඩි දිය ගතියක් තිබුන සම්බෝලත් එක්ක, ම්....එතකොට කවදාවත්ම එපා නොවෙන මස් රොටි... මට්ටි.., කකුළුවො.., අළුත්ම අළුත් මාළු...
අම්මේ... මතක් වෙනකොට කටේ තියන කෙල ඔක්කොම බඩට යනව!
මම කොච්චර පොඩි උනත් ඒ රස මට තාම මතකයි.
මෙච්චර කල් ලංකාවෙ ඇවිදපු කිසිම තැනකින් මම එච්චර රස කෑම කාල නෑ.
...ත්‍රි/නාලන්දා මහා විද්‍යාලය...
මේ අක්කගෙයි මගෙයි අළුත් ඉස්කෝලෙ.
අපි දෙන්න ඉස්කෝලෙ ගියේ අප්පච්චි එක්ක , ඒකාලෙ තිබුන මේට් බයික් එකේ, මම ඉස්සරහ, අක්ක පිටිපස්සෙ.
යන අතරමගදිත් බලන්න දෙවල් ගොඩායි.
බඹර හව්ස්, බඹර ගෙදර
ඒ දවස්වල බඹර හව්ස් කෑම්ප් එකට යන පාර අයිනෙ ඇදල තියෙන්නෙ මී මැස්සෙක් කියල මම හිතුවෙ.. අනේ ඉතින් මම පොඩියිනෙ..
තව මුවොත් මෙහෙ ඉන්නව, පාරට ටිකක් එහායින් කැලේ මායිමෙන් හිටපු ගමන් මුවෝ මතු වෙනව,තිත් වැටිච්ච පොඩි මුව පැටව් අපේ දිහාබලන් ඉන්නෙ, උන්ටත් ඉස්කෝලෙ යන්න ආස හිතිලද කොහෙද.
ඊට පස්සෙ හම්බවෙන්නෙ මම බලන්න ගොඩක් ආස ප්ලේන් එක.
මේ චීන වරායෙ ,නැත්නම් චයින බේ එයාෆෝස් කෑම්ප් එක ඉස්සරහ තියන ප්ලේන් එක. ඒක ස්මාරකයක්ලු ඒත් ඇත්ත එකක් මම හිතන්නෙ.
කොහොම උනත් සමහර දවස් වස්ලට කෑම්ප් එකට ගොඩබාන ප්ලේන් අපි දකිනව.
මුහුද පේන හරියට ආවහම ඈතට සුදු පාටට පේන්නෙ ලොකු බිල්ඩින් එකක්, ඒක තම ප්‍රීම එක. දන්නවනෙ ඒක පිටි ෆැක්ටරියක්, සමහර දවස් වලට ඒක වටේ නැව්ත් නවත්තල තියෙනව.
නාලන්දෙ මගෙ දෙවනි ඉස්කෝලෙ......
මේ ඉස්කෝලෙ ගැන මගේ අස්වීම් සහතිකේ තියෙන්නෙ මෙහෙම,
ඇතුලත් කල දිනය -1996.03.12 අස්වූ දිනය -1997.06.11
අන්තිමට සිටි පන්තියේ ඉගෙනගත් කරුනු - දෙවන වසරට නියමිත විශයන් සිංහලෙන්....
අවුරුද්දයි මාස තුනයි, අපහු මාරුවීමක්, ඒත් අපි මෙච්චර ලස්සන මෙච්චර හොද පැත්තක් දාල ඉක්මනටම යන්නෙ ඇයි?
මේ ලස්සන පලාතෙ , සුන්දර මිනිස්සු අතරෙ හිටපු අමනුෂ්‍ය සත්තුන්ගෙ හෙවනැල්ල අපිටත් වැටුන, ඒ අමනුෂ්‍යයො මරණ භය අපේ ජීවිත වලට ගෙනාව......
කොටි කොටි කොටි ඒ, අමනුෂ්‍ය දෙපා කොටි!
සටහන - අවුරුදු හයේ මතකය අම්මයි අප්පච්චිගෙයි උදව් ඇතිව අවුස්සද්දි මට තේරුනා මට සිතුම් සයුරෙ ඒ හැම දෙයක්ම ලියන්න බැරි වෙයි කියල.. මොකද කතාව ගොඩක් දිගයි.
දිගකතාවක් කියවන්න ඔයාල කැමති වෙයි කියල මම හිතන්නෑ,
කොහොම උනත් මගේ මුල් සටහනේ ,
අපි ඉගෙනගත්ත නදිරා අක්කගෙ පුංචි පන්තිය,
පුල්ලෙයාර් දානෙ කාපු කෝවිල,
අපිව මුහුදෙ මැද තියන ලස්සන පුංචි දූපත් වලට එක්කරගෙන ගිය අතක් නැති මුස්ලිම් මාමගෙ කතාව,
මට පිං කැටේ කියපු නදිර අක්කගෙ අයිය ගැන,
අපිට හැම දාම අළුත් මාලු එවපු, ඉස්සර ලොරි හතක් තිබුන සමීර මුදලාලි ගැන,
කොහු මෝල ගැන ,
ටිකට් සීය ගැන,
මහතුන් මුදලාලි ගැන මේවගේ තව ගොඩක් දේවල් ගැන අතුරු කතා පිරිල තියෙනව
ඒහැමෝම ගොඩක් හොද මිනිස්සු..
ඒ නිසා ඒ මිනිස්සු ගැන මට තාම මතකයි!
ඊලග ලිපියෙන් අපි යුද්දෙට පලමුවෙනි වතාවට කොටු උන හැටි ගැන කියන්නම්