Monday, November 17, 2014

පළමු වෙඩිල්ල


"අඩේ... අන්න රයිඩර්ස්ල එනව"

ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහම කොල්ලොන්ගෙ හිතට එන්නෙ පට්ට ගැම්මක්.

සමහරුන්ගෙ හීනෙ ගුවන් හමුදාවට යන්න, සමහරු නේවි එතකොට කොමාන්ඩෝ කෙනෙක් වෙන්න, ඒ වගේම රයිඩර් කෙනෙක් වෙලා උජාරුවට බයික් එකේ කරක්ගහන්න, සමහරුන්ට හීන තිබුන.

මේ යුද්ධෙ කාලෙ

මේ කාලෙ මම හොද පාසල් සිස්සයෙක්, පොඩි.. එකෙක්...


පොඩි කියුවට පොඩිමත් නෑ ඉතින්

මේ වෙනකොට යුද්ධෙ අපිට නුහුරු දෙයක් උනේ නෑ.වෙඩි සද්ද බෝම්බ සද්ද, අරෙහෙ  බෝම්බයක් පිපුරුනා , මෙච්චර ගානක් මැරුනා..මෙච්චරකට තුවාලයි..

මේ දේවල් කොච්චර සංවේදීවුනත් මේව ටික ටික අපේ ජීවිත වලට හුරු උනේ නොදැනීම වගේ.

"මචං කොටි මූතූර් වලට ගහල ඊට පස්සෙ ට්‍රින්කො අල්ලන් මේ පැත්තට එන්නලු හැදුවෙ.ඒත් කොමාන්ඩෝස්ල සෙට් එකක් ගියපු හින්ද වැඩේ හරි ගිහින් නෑ ලු.
අපේ අය මරාගෙන මැරෙන්න ගිහින් තියෙන්නෙ බං, ගියපු සමහර කොමාන්ඩෝස්ල ආපහු ඇවිත් නෑ කියලත් කියනව බං"

පාරෙ වේගෙන් යන ආමි ට්‍රක් දිහා බලාගෙන කොල්ලො මේ වගේ අහපු, ඇහුන කතා කියන්නෙ, හිතේ ලොකු ආඩම්බරයක් භක්තියක් තියාගෙන.මේ කතාවල ඇත්ත බොරු කොහොම වෙතත්, හමුදා නිල ඇදුමක් ඇදන් තුවක්කුවක් පපුවට තුරුළු කරන් යන අපේ උන් දැක්කහම ඇත්තටම මහා ලොකු ලෙන්ගතුකමක් දැනුන.



ක්ලේමෝ, ආර්.පි.ජී ,ග්‍රෙනේඩ් මේ දේවල් මේ වෙනකොට අපිට හරි හුරු පුරුදු වචන,අපි ආයුධ ගැන කතා කරන්න, ඒව අතගාන්න මාර ආසයි,කොච්චර ආයුධ වර්ග තිබුනත් මේ හැම ආයුධයකටම වඩා හුරු පුරුදු ගොඩක් අය දන්න ආයුධයක් තිබුන

ඒ ටී56

ඇමතිල එනකොට හමුදාවෙ අය අරගෙන එන පුංචි මැශින් තුවක්කු, පිස්තෝල, තව ලස්සන නානාප්‍රකාර ආයුධ වලට ආස උනත් අපිට ගොඩක් දකින්න හම්බ වුන ආස වුන ආයුධෙ මේක,

කොහොමද මෙයාව පාවිච්චි කරන්නෙ ? එතකොට,
ආමි එකේ අයට විතරද මේක පාවිච්චි කරන්න පුළුවන් ?
සිවිල් අයට බැරිද?

අපි හැමෝම දන්න ඒත් නොදන්නව වගේ ඉන්න ප්‍රසිද්ධ රහසක් තිබුන...

ඒ මේ වෙනකොටත් ගමේ බහුතරයක් කොල්ලන්ට ට්56 පාවිච්චි කරන්න පුළුවන් කියන එක, පාවිච්චි කරල තියනව කියන එක.

එතකොට මම.........

කොච්චර අතපත ගාලතිබුනත් කොච්චර ආසවුනත් මේවෙද්දි මම අල්ලල තියන කිසිම තුවක්කුවකින් වෙඩි තියල තුබුනෙ නෑ. මට වෙඩිතියල බලන්න තිබුනෙ පුදුම ආසාවක්.

මගේ පන්තියෙ සමහරු උන් වෙඩිතියපු හැටි කියද්දි මට දැනුනෙ මහා ඉරිසියාවක්...


ඇයි දෙයියනේ මට චාන්ස් එකක් දෙන්නැත්තෙ..මට වෙඩිතියන්න අකැපද?


ඒ උනත් වැඩි කල් ගියේ නෑ, මටත් ආව චාන්ස් එකක්.


ජිනේ අයිය., ජිනේ අයිය කවුද,මොනවද කරන්නෙ ඒව කොහොම වුනත් දවසක් ජිනේ අයියගෙ අතේ තිබුන ටි56 දිහා කන්න වගේ බලන් හිටපු මාව දැකපු ජිනේ අයියගෙ කටින්, මං මෙච්චරකල් අහන්න හිටපු වචන සෙට් එක පිටවුනා

"මල්ලි වෙඩිල්ලක් තියල බලන්න ආසද ?"

ඉබ්බ දියට දැම්මහම මොකක්ද එකක් කියුවලු.

 "නියමයිනෙ මට වෙඩි තියන්න දෙන්න පුළුවන්ද?"

මේවෙද්දි  ජිනේ අයියගෙන් ඉල්ලගත්ත ට්56න්, ජිනේ අයිය ඉස්සරහ මගේ වැඩ කෑලි ගොඩයි...

තුවක්කුව හතරවටේටම ඒම් කරනව, දනහිසින් නැමිල වෙඩි තියන්න හදනව..අප්පේ බඩ ගෑවෙ නැති එක විතරයි..

"මං කියල දෙන්නම් මල්ලි කෝඕක දෙනකො මෙහාට "

වැඩේ හරිය එත් ඉතින් මට ඉන්න බෑනෙ..

"මේ තුවක්කු ගලවල සුද්ධ කරනව නේද? ඒක කොහොමද කරන්නෙ අමාරුද?"

"නෑ මල්ලි එච්චර අමාරු නෑ  ඉන්න මම කියල දෙන්නම්"

ඔන්න චාන්ස් එක මෙන්න අයියල.

ඊට පස්සෙ පටන්ග්ත්තෙ අවි ආයුධ, අ නෑ ට්56 ගැල්වීම සහ හයි කිරීම පිලිබඳ ලෙක්චර් එක, හිතුවතරම් වැඩේ අමාරු නෑ,වැඩේ ලේසියි.

මැගසින් එකට උන්ඩ පුරවන්නෙ කොහොමද,ඒම් කරන්නෙ කොහොමද,ලෝඩ් කරපු උන්ඩයක් ආපහු එලියටගන්නෙ කොහොමද මේව ඊලග පාඩම්,

ඊට පස්සෙ තමා ආසම පාඩම, වෙඩි තැබීම...



හූ...රේ....

ඕව කරන්න අප්පචිගෙන් අවසර ගන්නත් එපෑයැ, අප්පච්චි අවි ආයුධ වලට අකමැතියි! ඒත් ඉතින් මේ චාන්ස් එක මිස් කරන්න බෑ නොවැ.

" අප්පච්චි එක වෙඩිල්ලයි අනෙ එකක් විතරක් තියන්න දෙන්නකො...."

සෑහෙන ගේමකින් පසු

"ඕන එකක් කරගනින් හැබැයි පරිස්සමින් "

අම්මෙ හිතට දැනුන සතුට.. පරක්කු වෙන්න හොදනෑ ඉක්ම්නට වැඩේ කරන්න ඕනෙ.



අපි ෂුට් කරන්න ‍තෝර ගත්තෙ ගේ පිටිපස්සෙ තියන මහා සියඹල ගහ

"මල්ලි අපි අර සියඹලා ගහේ මුලට තියමු"

ඈ ඒ මොන වැඩක්ද..

මට ඕන වුනේ සියඹල අත්තෙ ලණුවක් ගැටගහල ඒකෙ බෝතලයක් එල්ලල ඒකට පොඩි තට්‍ටුවක් දාල ඒක හෙල්ලෙනකොට හෙල්ලෙන මූවින් ටාර්ගට් එකට ෂූට් කරන්න.

ඕක කියන්න ගියොත් මේක කරන්න වෙන්නෑ,

හොදම වැඩේ තියනව මුල පා මුල බෝතලයක්..

"මල්ලි ඔය ගන් එක පහතට කරල තියා ගන්න කට පහතට.. මෙතන ඉදන් තියන්න බලන.."

ගහේ ඉදන් අඩි විස්සක් විතර දුරින් අපොයි..

"මං තව ටිකක් පස්සට යන්නම් ලග වැඩිනෙ දුර ඉදන් තිබ්බහම තමානෙ මරු"

"නෑ නෑ ඔය හොදයි කට පැත්ත පහලට කරලම වෙඩි තියන්න ඕනෙ හොදද"

කොහොම හරි එජෙස් කරල දැන් අපේ සැකසුම මෙහෙම,

 ගහ මුල බෝතලය මම අඩි තිහක් දුරින් අවි රහිතව ජිනේ අයිය ගත්ත ගන් එක.

"හරි මල්ලි මම ලෝඩි කරල දෙන්නම්, ටිගර් එකට අත තියන්න එපා හරිද, තුවක්කුවෙ කට පහතට කරලම තියාගන්න හරිද"

මොකක්, මට ලෝඩ් කරන්න දෙන්නැද්ද?

මේක මාර බයක්නෙ දෙයියනේ කොහොමද මේ මනුස්සය තුවක්කු පාවිච්චි කරන්නෙ

ජිනේ අයිය තුවක්කුව ලෝඩ් කරා දැන් ජීව උන්ඩයක් වෙඩි තැබීමට සූදානම්,

"මල්ලි මම මැගසින් එක ගලවන්නම් ඒක කෝකටත් හොදයි"



ඈ..... නොදකින්

"හා කමක්නෑ අයියෙ"

කමක්නෑ වෙඩිතියන්න හම්බෙනවනෙ.

මං ලගට ආපු ජිනේ අයිය තුවක්කුව දීල පස්සට පැන්නෙ වෙඩිල්ල වගේ

මෙච්චරකල් බලන්හිටිය චාන්ස් එක දැන් මගේ ලග..

ඒත්... ඔක්කොම වෙනස් වුනා හිතේ තිබුන සතුට ගොඩක් අඩු වුනා

හිතට දැනුනෙ මහා පුදුම හැගීමක්, ඇත්තටම ඒක බයක්.....

මම හිටන් ඉන්න තැනට පොඩ්ඩක් එහායින් තියන කුස්සියෙ පිගන් හෝද හෝද මගෙ අම්ම ඉන්නව.මේ ලෝකෙ මම අම්මට තරම් ආදරේ කරන වෙන කවුරුත් නැති තරම්.

සියඹල ගහට කෙලින් ගෙදර ඉන්නෙ ජනක අයියල.ඒ ගෙදර පොඩි හුරතල් මල්ලිල දෙන්නෙක් ඉන්නව,

හදීසියෙවත් වෙඩි තියනකොට අම්ම හරි, අක්ක හරි එලියට ආවොත්,

මට වැරදිල උන්ඩෙ ජනක අයියල ගෙදර දිහාට ගියොත්,

හිතට ආවෙ ලොකු බරක්

මට පොඩ්ඩක් හරි වැරදුනොත් ජීවිතයක් ඉවරයි නේද

ජිනේ අයිය මෙච්චර පරිස්සම් වුනේ බය වුනේ මේ දේටද,

හිතේ ඇතිවුනේ හරි අමුතු හැගීම් ගොඩක්

හොදම වැඩේ ඉක්මනට වෙඩි තියල ඉවරකරන එක,

ඒම් එක හරි,   හිතුවෙවත් නැති පොඩි තද කිරිල්ලකින් තුවක්කුව පත්තු වුනේ මූන ඉස්සරහ රතිඤ්ඤයක් පත්තු කරාවගේ.



ඉලක්කය හරියටම හරි බෝතලේ කුඩු.

තුවක්කුව ඉක්මනින් ජිනේ අයියට දෙනකොට අයියගෙ මූනෙ තිබුනෙ හිනාවක්,

"මල්ලි හොද ඉලක්ක කාරයෙක්නෙ මං හිතුවෙ නෑ ඔය පොඩි බෝතලෙට තියන්න පුලුවන් වෙයි කියල"

හිතට සතු‍ටුයි, ඒත් හිතේ මම බලාපොරොත්තු නොවුන හැගීමක් තිබුන,ඒක විස්තර කරන්න අමාරු දෙයක්,
.................................................................................................................................

ඒ මගේ පළමු වෙඩිල්ල ඒ උන්ඩෙ කොපුව මගේ ලග තාමත් තියනව,


ඒත් මගේ හිතට ඒ වෙඩිල්ල ප්‍රශ්නයක් ඉතිරි කරා

ඇත්තටම වෙඩි තියන එක ලේසිද?




Friday, October 24, 2014

අන්ඩර්ටේකර් vs රතූ




දෙයියනෙ..! මේ අයියල අක්කල කොච්චර හොදද.  මේ වගේ කට්ටියක් හම්බවෙන්න  කොච්චර පිං කරල තියෙන්න ඕනෙද....

කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හතරෙදි මට හිතුනෙ එහෙම.

බය වෙන්න එපා කියනව,  subject combination  ගැන කියල දෙනව,   අපේ විස්තර අහනව,  කන්න ගෙනත් දෙනව, බොන්න ගෙනත් දෙනව

දෙයියනෙ කවන්නෙ නැති එක විතරයි

ඉතින්, මොකට බය වෙන්නද ,

අප්පච්චි හිටිය කැම්පස් එකෙ වගේ වෙන්න බෑ මේක,

මේක සුපිරි තැනක්.....




"අප්පච්චි අපිටනම්  ‍රැග් තියෙන එකක් නෑ මේ අයියල මාර හොදයි..මෙයල අපිට මොකුත් කරන එකක් නෑ.."

අලුත් යාලුවොත් එක්ක 2කෙ කාමරේ සෙට්වෙලා අස්පස් එහෙම කරල ෆෝන් එක අතට අරන් හවස පහට විතර අප්පච්චිට  කියනකොට අප්පච්චි කියුවෙ මාර කතාවක්

"එහෙමද එහෙනම් අද ‍රැට බලපන්කො හොද අයියල ටික මල්ලිල බලන්න එයි,කල්පනවෙන් පරිස්සමින්  හිටපන්"

අප්පච්චි ඉතින් කැම්පස් ගිහින් හොදට සල්ලන් වෙච්චි කොල්ලනෙ.තර්ක විතර්ක අනවශ්‍යයි,මටත් ඉතින් ඔනෙ බම්බුවක්,..අවුලක් වෙන එකක් නෑ.ඒත් ටිකක් බයයිද මන්ද.



වෙලාව රෑ අටයි..

අපේ කාමරේ එක රූමෙක් ඇදේ හතරගාතෙ දාල දොයි.

තව එකේක් ඇද යට

ඌ ඇද යට තියෙන තියෙන රෙදි මල්ලක් අදිනව,

මම පු‍ටුවක් උඩ,


දඩාස් ගාල ඇරුන අපේ කාමරේ දොරෙන් ආවෙ අපේ සීනියර් අයියල ටිකක්.


"ආ අයියෙ මොකද මේ පැත්තෙ.."

"අයියෙ.... නැගිටපිය පර බ#*&#@*$#*#*%$%*^*"

කරන්ට් වැදිල වගේ එක පාරටම සීරුවෙන් හිට ගත්ත අපිට මුකුත් හිතාගන්න බැරි උනා

මොකක්ද බොලේ ඇතටම මේ වෙන්නෙ.......

අයියලගෙ සහෝදර ප්‍රේමය දෝරෙ ගලනකොට අපේ කාමරේ ඉන්න අසරණ ජුන්ඩො වන අපේ සියොලගම දාඩියෙන් තෙත් උනේ ප්‍රේමයේ උනුසුමටද කොඉන්ද..

මෝලේ ගිනියම් වෙන තෙල් බෙදිල්ලකින් පස්සෙ අපි තේරුම්ගත්තෙ අපේ දුක්කදායක ඉදිරිය ගැන.......



අපි ජුන්ඩොය අපිට නීති ඇත.ඉංග්‍රීසි අකැපය.අයියලා නම් නැත,ජේෂ්ඨ උත්තමයන් ඇත,ඔවුන්ට ඇත්තේ කාඩ් නොහොත් කේත නාම පමණි.පාවාදීම අකැපය .දුන්නොත් ඉවරය.සරසවියේ බිත්ති වලට පවා කන් ඇත කට පරිස්සම් කර ගැනීම කෝකටත් හොදය.

ඉතින් මේ වගේ කැම්පස් එකේ උප සංස්කෘතියට සහ සමාජගතවීම සදහා අපේ වටිනා කාලය කැප කරන්න ගත්තෙ අපේම කැමැත්තෙන්.

උත්තමයො සහ උත්තමාවියො අපිව බලන්න හරි කැමතියි,

තව... අපි, අපි හැමෝගෙම නම් දැන ගන්න ඕනෙ ,

තව ජේෂ්ඨ උත්තමයන් ගෙත් නම් ගම් දැනගන්න ඕනෙ.

හරි සෝයි!!!

අපි ඉතින් හවසට  ජේෂ්ඨඋත්තම උත්තමාවියන් හම්බෙන්නයන්නෙ හරිම ආසාවෙන් හරි කැමැත්තෙන්.

ඒ සියලු හමුවීම් අපි අපේ විවිධාකාරවු දක්ශතා පෙන්වීමට සුදුසු ‍තෝතැන්නක් කර ගන්නෙ ඉතින් අපේ කැමැත්තෙන්.....

අනේ ! මොනවා...ට කියනවද ඉතින්...



ඉතින් ඔන්න, මට හිතුන නිසා මගේ ගෑනු ළමය කියල හිතන්,තැනින් තැන මැලියම් වැහෙන  කොහොඹ ගහකට උම්ම දිදී හිටපු මම, මගේ රබර් ඇහැ දැම්මෙ අනිත් සහෝදර සහෝදරියන්ගෙ දක්ෂතා බලන්ට

අප්පේ.... දැක්කහම ආ..ස හිතෙනව

එක තැනෙක උද්ඝෝෂනයක්...




 " හිරු ඇහුවොත් ............  ලබ්බ තමයි!!!

හිරු ඇහුවොත් ............ ලබ්බ තමයි!!!!


        හිරු ඇහුවොත් ............ ලබ්බ තමයි!!!!"

සහෝදර සහෝදරියො හිරුට විරුද්ධවෙලා

තවත් තැනක තොරන් විරිදු තාලයට ක්‍රිකට් විස්තර විචාරයක්...

"ඔන්න ලසිත් මාලිංග රා බී මත් වූ නාලාගිරි හසිති රා...ජයාවගේ දුවගේන ඇවිත් ලාරට පන්දුවක් යොමු කරනව..."

තවත් තැනක සහෝදරියො කොල අතු ඇදන් වැදි නැ‍ටුමක් ප්‍රදර්ශනය කරනව,

ගායනය සහෝදර කැකුළන්ගෙන්

ඒඅස්සෙ ජනාදිපතිතුමයි විපක්ෂ නායකතුමයි අතර මහා වාග් හබයක් 



මුන් දෙන්න ගහගනියිද මන්ද...

තවත් සමහරු හිතින් මාවාගත්තු පු‍ටු වල නොහොත් මනෝ පු‍ටුවල වාඩිවෙලා මූන දෙක කරගෙන ඉන්නව , ඔය පු‍ටුවෙ ඉදගෙනම බලන්න ඕනෙ තියෙන සැප, 

අපෙන් වරදක් උනහම අපි හිතලමයිනෙ ඔය පු‍ටුවෙ වාඩි වෙන්නෙ

බලන්න අපේ කැපවීම ,



සීනියස්ලගෙ නම් මතක තබාගැනීම අනිවාර්යයි!!!! 

ඕක තමා එපාකරපුම වැඩේ කොච්චර මතක තියාගන්න හැදුවත් අමතක වෙනවනෙ...

"ඒ කවුද බන් අර තට්ටෙ තියෙන උතුමානාන්"

" අ.. ඒ කොන්ඩය උතුමානන් බන්..."

"කොන්ඩය, කො බන් කොන්ඩෙ "

" අඩේ අර සුදු... කොට පට්ට උත්තමාවිය කවුද යකෝ බලපන්කො හැඩ...."

ලෙක්චස් වලට පෝලිමේ යනකොට හම්බවෙන ජේෂ්ඨ උත්තමයො සහ උත්තමාවියන්ට 

" සුභ උදෑසනක් වේවා ජේෂ්ඨ උත්තමයානණි!! "

" සුභ උදෑසනක් වේවා ජේෂ්ඨ උත්තමාවියණි!! "

 කියන එක ඇරෙන්න අපිට තියෙන්නෙ ඔය වැඩ..

ඒ අස්සේ සමහරු  කාර්ඩ් කුප්පියක්

"අර පිංකි උත්තමාවිය, අර ලෙටී උත්තමාවිය, අර ජෙසා...."

"යකෝ කෙල්ලොන්ට විතරක් කියල දෙන්නැතිව අපිටත් කියලදීපන්කො...."



කොච්චර උත්සාහ කරත් නම් පාඩම් කරගැනීමට සමහර සහෝදර සහෝදරියන්ට තියෙන්නෙ අඩු හැකියාවක්,

ඒහෙම වුනහම වෙන්නෙ හැමෝටම දඩුවම් විදින්ට වෙන එක...

අ හ්! නෑ අපි අපිටම දඩුවම් කරගන්න එක...

"අනේ !! මට සමාවෙයන් බන් මට කොහොමකරත් මතක හිටින්නෑ බන්.."

ඒ රතූ මගේ සහොදර බැජියෙක්,

මේකට නම් පාඩම් හිටින්නෑ, ඒ කියන්නෙ ඉතින්, බඩුම තමා.

ඔන්න තවත් එක සුන්දර වාත කරන, වාතවන වේලාවේදි නොහොත් ‍රැග් එකේදි, මාත් ඉතා සැප  පහසු මනෝ පු‍ටුවක ඉදගත්ත,    

මටත් ඉතින් සමහර වෙලාවට නම් අමතක වෙනවනෙ..!!

කොහෙහිටියත් කොහොම හිටියත් මගේ පුරුද්ද වට පිට සිදුවන දේවල් ගැන විමසිල්ලෙන් පසුවීම,
ඔන්න ඉතින් මං මාත් සමග අසුන් ගෙන සිටින අනිත් සහෝදරයන් එක්ක වටපිට ඇහැ යොමු කෙරුව,

අන්ඩර්ටේකර්, 





අන්ඩර්ටේකර් කියන්නෙ අඩි හයක් විතර උස ,යෝධ ඇගක් තියෙන, කොන්ඩෙ වවාගෙන ඉන්න අපේ ජේෂ්ඨඋත්තමයෙක්. වැඩිය කතා නැති වුනාට වාත කරන්න ගත්තාම අනිත් අය පරාදයි, 

කියන්න දෙයකුත් නෙමේ නෙ මේ උත්තමයට අපි පට්ටම පට්ට බයයි!!! 

මේ වෙනකොට මගේ දර්ශනපතයට අහුවෙච්චි අන්ඩර්ටේකර්ගෙ දර්ශනපතයට අහු වුනේ රතූ සහෝදරයව..

හරි අද මූට වෙන්නෙ ඇට තලා ගන්න 

ඒ මගේ හිත

මෙය සිදුවියහැකි ආකාර කිහිපයක් ක්ෂණ්කයෙන් හිතට ආවත් මං බලන් හිටියෙ ඊලග ජවනිකාවෙ මොකක්ද වෙන්නෙ කියල.

"ඒ මෙහෙ වරෙන්"

බයට නිල් වෙච්චි රතූ අන්ඩර්ටේකර් ලගට ගියේ අඩාගෙන වගේ.


"කෙලින් හිටපන් යකෝ!!!  "

"තොට සීනියස්ලගෙ කාර්ඩ් ඔක්කොම මතකද..."

තරහෙන් රතු වෙච්චි අන්ඩර්ටේකර්ගෙ ඇස් ගෙඩි දකිද්දි රතූගෙ කට ඇරුනෙත් නෑ.

"තොට කියනදේ ඇහෙන් නැද්ද"

"ඇහෙනව උතුමානනි .. මට පුළුවන් උතුමානනි"

"අ එහෙමද තොට මතකයිනෙ. හැබැයි එකක්හරි බැරි උනොත් බලපන් මම තොට කරන දේ"

තව ස්වල්ප මොහොතකින් රතූට අත්වෙන සෝචනීය ඉරණම සිතින් මැවෙනකොට කකුල් දෙකට දැනුන අමාරුවත් කොහෙන් ගියාද මන්ද
 
 "කියපන් අර කවුද?"

"ඒ..ඒ පැටී උතුමානන් උතුමානණි"

"පැටී උතුමානන්, ඒ පැටීද යකෝ...‍තෝ කියුව නේද කාඩ් පුළුවන් කියල"

"අර කවුද කියපන්..."

"ක.. ක. ට්ටි උත්තමාවිය උතුමානණි..."

චූටි උත්තමාවියට මූකියපි කට්ටි කියල..

දැන්  ඉවරයි !!...
 
රතුවෙලා තියෙන අන්ඩර්ටේකර්ගෙ අතපය කියාපෑවෙ රතූගෙ අවාසනාවන්ත අනාගතය..



මේ අස්සෙ ෂෝ එක බලන පිරිස එන්න එන්නම වැඩි වෙනව.මාත් එක්ක මනෝ පු‍ටුගහන ගමන් කටත් ඇරන් ෂෝ එක බලන සහෝදරයො ඇරුනහම වට පිටාවෙ ඉන්න සින්නොත් දැන් ෂෝ එක බලනව

පව්! , අසරණ රතූ

"හරි මන් තොට එකම එක චාන්ස් එකක් දෙනව එකම එකක් අර ජේෂ්ඨඋත්තමය කව්ද කියපන්...."

ඒ අන්ඩර්ටේකර්ගෙන් රතූට හම්බ වුන ලාස්ට් චාන්ස් එක...

අන්ඩර්ටේකර් පෙන්නුවෙ  ඈතින් එන ඉබ්බ ජේෂ්ඨඋතුමානන් ,



රතුපාට කැප් එකක් දාගෙන අත් දිග ශර්ට් එකක් කොටට නමාගෙන හැමදාම වගේ එන ඉබ්බ උතුමානන් අපට පට්ට මිටර්..

ඉබ්බ යකෝ ඉබ්බ.. 

අපි හොරෙන් කටින් අකුරු පෙන්නුවෙ රතූට පේන්න..

ඉබ්බ යකෝ කියපන් ඉබ්බ

"තොට කියන්න පුළුවන්ද කියපන් පරයා.."

"පුළුවන් උතුමානනි මන් දන්නව උතුමානනි"

හනේ රතූට අපි කියපු එක තේරිලාද කොහෙද...

කියපන් දෙයියෝ කියපන්....ඉබ්බ කියල කියපාන්...


මැච් එකේ තීරනාත්මක අවසන් පන්දුව සියල්ලෝම නිශ්ෂබ්දයි...........!


"පුළුවන්.. එහෙනම් කියපන් ඒ කවුද?"




              "ගෙම්බා උතුමානනි ඒ ගෙම්බ..."





"ගෙම්බ ‍තෝ සීනියස්ලට කාඩ් දානවද යකෝ හිටපන් තොට මම...."



අන්ඩර්ටේකර්ගෙ වියරුවෙන් සංත්‍රාසය ට පත්වෙලා ඉන්න රතූ දැක්කහම මට හිතා ගන්න බැරි උනේ අඩන්නද හිනාවෙන්නද කියල..

කොහොම උනත් රෑ 12ට විතර හොස්ටල් එකේ දවසේ රස කතා කිය කිය හිනා වෙනකොට රතූ ගෙ කටින් පිට වුනේ උගේ සුපුරුදු වචන සෙට් එක

                                "අනේ... මටනම් එපා......වෙනව බන්!!!"