Monday, November 17, 2014

පළමු වෙඩිල්ල


"අඩේ... අන්න රයිඩර්ස්ල එනව"

ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට්‍රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහම කොල්ලොන්ගෙ හිතට එන්නෙ පට්ට ගැම්මක්.

සමහරුන්ගෙ හීනෙ ගුවන් හමුදාවට යන්න, සමහරු නේවි එතකොට කොමාන්ඩෝ කෙනෙක් වෙන්න, ඒ වගේම රයිඩර් කෙනෙක් වෙලා උජාරුවට බයික් එකේ කරක්ගහන්න, සමහරුන්ට හීන තිබුන.

මේ යුද්ධෙ කාලෙ

මේ කාලෙ මම හොද පාසල් සිස්සයෙක්, පොඩි.. එකෙක්...


පොඩි කියුවට පොඩිමත් නෑ ඉතින්

මේ වෙනකොට යුද්ධෙ අපිට නුහුරු දෙයක් උනේ නෑ.වෙඩි සද්ද බෝම්බ සද්ද, අරෙහෙ  බෝම්බයක් පිපුරුනා , මෙච්චර ගානක් මැරුනා..මෙච්චරකට තුවාලයි..

මේ දේවල් කොච්චර සංවේදීවුනත් මේව ටික ටික අපේ ජීවිත වලට හුරු උනේ නොදැනීම වගේ.

"මචං කොටි මූතූර් වලට ගහල ඊට පස්සෙ ට්‍රින්කො අල්ලන් මේ පැත්තට එන්නලු හැදුවෙ.ඒත් කොමාන්ඩෝස්ල සෙට් එකක් ගියපු හින්ද වැඩේ හරි ගිහින් නෑ ලු.
අපේ අය මරාගෙන මැරෙන්න ගිහින් තියෙන්නෙ බං, ගියපු සමහර කොමාන්ඩෝස්ල ආපහු ඇවිත් නෑ කියලත් කියනව බං"

පාරෙ වේගෙන් යන ආමි ට්‍රක් දිහා බලාගෙන කොල්ලො මේ වගේ අහපු, ඇහුන කතා කියන්නෙ, හිතේ ලොකු ආඩම්බරයක් භක්තියක් තියාගෙන.මේ කතාවල ඇත්ත බොරු කොහොම වෙතත්, හමුදා නිල ඇදුමක් ඇදන් තුවක්කුවක් පපුවට තුරුළු කරන් යන අපේ උන් දැක්කහම ඇත්තටම මහා ලොකු ලෙන්ගතුකමක් දැනුන.



ක්ලේමෝ, ආර්.පි.ජී ,ග්‍රෙනේඩ් මේ දේවල් මේ වෙනකොට අපිට හරි හුරු පුරුදු වචන,අපි ආයුධ ගැන කතා කරන්න, ඒව අතගාන්න මාර ආසයි,කොච්චර ආයුධ වර්ග තිබුනත් මේ හැම ආයුධයකටම වඩා හුරු පුරුදු ගොඩක් අය දන්න ආයුධයක් තිබුන

ඒ ටී56

ඇමතිල එනකොට හමුදාවෙ අය අරගෙන එන පුංචි මැශින් තුවක්කු, පිස්තෝල, තව ලස්සන නානාප්‍රකාර ආයුධ වලට ආස උනත් අපිට ගොඩක් දකින්න හම්බ වුන ආස වුන ආයුධෙ මේක,

කොහොමද මෙයාව පාවිච්චි කරන්නෙ ? එතකොට,
ආමි එකේ අයට විතරද මේක පාවිච්චි කරන්න පුළුවන් ?
සිවිල් අයට බැරිද?

අපි හැමෝම දන්න ඒත් නොදන්නව වගේ ඉන්න ප්‍රසිද්ධ රහසක් තිබුන...

ඒ මේ වෙනකොටත් ගමේ බහුතරයක් කොල්ලන්ට ට්56 පාවිච්චි කරන්න පුළුවන් කියන එක, පාවිච්චි කරල තියනව කියන එක.

එතකොට මම.........

කොච්චර අතපත ගාලතිබුනත් කොච්චර ආසවුනත් මේවෙද්දි මම අල්ලල තියන කිසිම තුවක්කුවකින් වෙඩි තියල තුබුනෙ නෑ. මට වෙඩිතියල බලන්න තිබුනෙ පුදුම ආසාවක්.

මගේ පන්තියෙ සමහරු උන් වෙඩිතියපු හැටි කියද්දි මට දැනුනෙ මහා ඉරිසියාවක්...


ඇයි දෙයියනේ මට චාන්ස් එකක් දෙන්නැත්තෙ..මට වෙඩිතියන්න අකැපද?


ඒ උනත් වැඩි කල් ගියේ නෑ, මටත් ආව චාන්ස් එකක්.


ජිනේ අයිය., ජිනේ අයිය කවුද,මොනවද කරන්නෙ ඒව කොහොම වුනත් දවසක් ජිනේ අයියගෙ අතේ තිබුන ටි56 දිහා කන්න වගේ බලන් හිටපු මාව දැකපු ජිනේ අයියගෙ කටින්, මං මෙච්චරකල් අහන්න හිටපු වචන සෙට් එක පිටවුනා

"මල්ලි වෙඩිල්ලක් තියල බලන්න ආසද ?"

ඉබ්බ දියට දැම්මහම මොකක්ද එකක් කියුවලු.

 "නියමයිනෙ මට වෙඩි තියන්න දෙන්න පුළුවන්ද?"

මේවෙද්දි  ජිනේ අයියගෙන් ඉල්ලගත්ත ට්56න්, ජිනේ අයිය ඉස්සරහ මගේ වැඩ කෑලි ගොඩයි...

තුවක්කුව හතරවටේටම ඒම් කරනව, දනහිසින් නැමිල වෙඩි තියන්න හදනව..අප්පේ බඩ ගෑවෙ නැති එක විතරයි..

"මං කියල දෙන්නම් මල්ලි කෝඕක දෙනකො මෙහාට "

වැඩේ හරිය එත් ඉතින් මට ඉන්න බෑනෙ..

"මේ තුවක්කු ගලවල සුද්ධ කරනව නේද? ඒක කොහොමද කරන්නෙ අමාරුද?"

"නෑ මල්ලි එච්චර අමාරු නෑ  ඉන්න මම කියල දෙන්නම්"

ඔන්න චාන්ස් එක මෙන්න අයියල.

ඊට පස්සෙ පටන්ග්ත්තෙ අවි ආයුධ, අ නෑ ට්56 ගැල්වීම සහ හයි කිරීම පිලිබඳ ලෙක්චර් එක, හිතුවතරම් වැඩේ අමාරු නෑ,වැඩේ ලේසියි.

මැගසින් එකට උන්ඩ පුරවන්නෙ කොහොමද,ඒම් කරන්නෙ කොහොමද,ලෝඩ් කරපු උන්ඩයක් ආපහු එලියටගන්නෙ කොහොමද මේව ඊලග පාඩම්,

ඊට පස්සෙ තමා ආසම පාඩම, වෙඩි තැබීම...



හූ...රේ....

ඕව කරන්න අප්පචිගෙන් අවසර ගන්නත් එපෑයැ, අප්පච්චි අවි ආයුධ වලට අකමැතියි! ඒත් ඉතින් මේ චාන්ස් එක මිස් කරන්න බෑ නොවැ.

" අප්පච්චි එක වෙඩිල්ලයි අනෙ එකක් විතරක් තියන්න දෙන්නකො...."

සෑහෙන ගේමකින් පසු

"ඕන එකක් කරගනින් හැබැයි පරිස්සමින් "

අම්මෙ හිතට දැනුන සතුට.. පරක්කු වෙන්න හොදනෑ ඉක්ම්නට වැඩේ කරන්න ඕනෙ.



අපි ෂුට් කරන්න ‍තෝර ගත්තෙ ගේ පිටිපස්සෙ තියන මහා සියඹල ගහ

"මල්ලි අපි අර සියඹලා ගහේ මුලට තියමු"

ඈ ඒ මොන වැඩක්ද..

මට ඕන වුනේ සියඹල අත්තෙ ලණුවක් ගැටගහල ඒකෙ බෝතලයක් එල්ලල ඒකට පොඩි තට්‍ටුවක් දාල ඒක හෙල්ලෙනකොට හෙල්ලෙන මූවින් ටාර්ගට් එකට ෂූට් කරන්න.

ඕක කියන්න ගියොත් මේක කරන්න වෙන්නෑ,

හොදම වැඩේ තියනව මුල පා මුල බෝතලයක්..

"මල්ලි ඔය ගන් එක පහතට කරල තියා ගන්න කට පහතට.. මෙතන ඉදන් තියන්න බලන.."

ගහේ ඉදන් අඩි විස්සක් විතර දුරින් අපොයි..

"මං තව ටිකක් පස්සට යන්නම් ලග වැඩිනෙ දුර ඉදන් තිබ්බහම තමානෙ මරු"

"නෑ නෑ ඔය හොදයි කට පැත්ත පහලට කරලම වෙඩි තියන්න ඕනෙ හොදද"

කොහොම හරි එජෙස් කරල දැන් අපේ සැකසුම මෙහෙම,

 ගහ මුල බෝතලය මම අඩි තිහක් දුරින් අවි රහිතව ජිනේ අයිය ගත්ත ගන් එක.

"හරි මල්ලි මම ලෝඩි කරල දෙන්නම්, ටිගර් එකට අත තියන්න එපා හරිද, තුවක්කුවෙ කට පහතට කරලම තියාගන්න හරිද"

මොකක්, මට ලෝඩ් කරන්න දෙන්නැද්ද?

මේක මාර බයක්නෙ දෙයියනේ කොහොමද මේ මනුස්සය තුවක්කු පාවිච්චි කරන්නෙ

ජිනේ අයිය තුවක්කුව ලෝඩ් කරා දැන් ජීව උන්ඩයක් වෙඩි තැබීමට සූදානම්,

"මල්ලි මම මැගසින් එක ගලවන්නම් ඒක කෝකටත් හොදයි"



ඈ..... නොදකින්

"හා කමක්නෑ අයියෙ"

කමක්නෑ වෙඩිතියන්න හම්බෙනවනෙ.

මං ලගට ආපු ජිනේ අයිය තුවක්කුව දීල පස්සට පැන්නෙ වෙඩිල්ල වගේ

මෙච්චරකල් බලන්හිටිය චාන්ස් එක දැන් මගේ ලග..

ඒත්... ඔක්කොම වෙනස් වුනා හිතේ තිබුන සතුට ගොඩක් අඩු වුනා

හිතට දැනුනෙ මහා පුදුම හැගීමක්, ඇත්තටම ඒක බයක්.....

මම හිටන් ඉන්න තැනට පොඩ්ඩක් එහායින් තියන කුස්සියෙ පිගන් හෝද හෝද මගෙ අම්ම ඉන්නව.මේ ලෝකෙ මම අම්මට තරම් ආදරේ කරන වෙන කවුරුත් නැති තරම්.

සියඹල ගහට කෙලින් ගෙදර ඉන්නෙ ජනක අයියල.ඒ ගෙදර පොඩි හුරතල් මල්ලිල දෙන්නෙක් ඉන්නව,

හදීසියෙවත් වෙඩි තියනකොට අම්ම හරි, අක්ක හරි එලියට ආවොත්,

මට වැරදිල උන්ඩෙ ජනක අයියල ගෙදර දිහාට ගියොත්,

හිතට ආවෙ ලොකු බරක්

මට පොඩ්ඩක් හරි වැරදුනොත් ජීවිතයක් ඉවරයි නේද

ජිනේ අයිය මෙච්චර පරිස්සම් වුනේ බය වුනේ මේ දේටද,

හිතේ ඇතිවුනේ හරි අමුතු හැගීම් ගොඩක්

හොදම වැඩේ ඉක්මනට වෙඩි තියල ඉවරකරන එක,

ඒම් එක හරි,   හිතුවෙවත් නැති පොඩි තද කිරිල්ලකින් තුවක්කුව පත්තු වුනේ මූන ඉස්සරහ රතිඤ්ඤයක් පත්තු කරාවගේ.



ඉලක්කය හරියටම හරි බෝතලේ කුඩු.

තුවක්කුව ඉක්මනින් ජිනේ අයියට දෙනකොට අයියගෙ මූනෙ තිබුනෙ හිනාවක්,

"මල්ලි හොද ඉලක්ක කාරයෙක්නෙ මං හිතුවෙ නෑ ඔය පොඩි බෝතලෙට තියන්න පුලුවන් වෙයි කියල"

හිතට සතු‍ටුයි, ඒත් හිතේ මම බලාපොරොත්තු නොවුන හැගීමක් තිබුන,ඒක විස්තර කරන්න අමාරු දෙයක්,
.................................................................................................................................

ඒ මගේ පළමු වෙඩිල්ල ඒ උන්ඩෙ කොපුව මගේ ලග තාමත් තියනව,


ඒත් මගේ හිතට ඒ වෙඩිල්ල ප්‍රශ්නයක් ඉතිරි කරා

ඇත්තටම වෙඩි තියන එක ලේසිද?